Sunday, September 23, 2012

කඳුලක අවසානය | මිලින වූ සඳ අවසාන කොටස

තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.ඉන් පසු ඇයට එකිනෙක පැටළුම් සහගත සිද්ධීන් වලට මුහුණ දීමට සිදුවේ.

   පළමු කොටස            දෙවන කොටස                තෙවන කොටස                සිව්වනකොටස                         
   පස්වනකොටස          හයවන කොටස               හත්වන කොටස               හත්වන කොටස      

     කාරය මිදුලේ නතර කරද්දීම නෙත්මි මුව පුරා සිනා සීගෙන මිදුලට පිවිසියාය.
“ නෙත්මි පහු ගිය ටිකේ අවේ නැත්තේ මොකද කියලා බලන්නයි අපි ආවේ “ සෙනුරි නෙත්මි හා අත් පටලාගෙන ගෙගුලට පියමනිමින් කීය.
“ කිව්වට වැඩක් නෑ නෝනා එපා කියද්දිත් ගොම්මන් වෙලාවේ නාලා උණ හදා ගත්තා.මම මහත්තයලට බොන්න මොනව හරි අරගෙන එන්නම්  “
“ නෙත්මි ලගේ සීයා ඉන්නේ ගොඩක් දුරින්ද නෙත්මි ? “
“ එච්චර දුර නෑ මහත්තයා .කාර් එකේ යනවනම් පැය බාගෙක විතර දුරක් “

                     සේදිරිස්ගේ නිවසට පැමිණි ප්‍රධාන කාරණය සාක්ෂාත් කර ගැනීමට සම්පත්ට මහත් ඕනෑකමක් තිබිණි.ඒ සේදිරිස්ගේ පියාගෙන් වලව්ව පිළිබඳ ඇත්ත දැන ගැනීමයි.සෙනුරිට දැන් නම් ඒ ගැන අවධානයක්   නැතැයි සිතමින් සම්පත් මඳ සිනාවක් පාමින් නෙත්මි හා කතාවට වැටී සිටින සෙනුරි දෙස බැලීය.නෙත්මිගේ මව තේ කෝප්පත් බිස්කට් පීරිසියකුත් රැගෙන ගෙතුලින් මතු විය.
“ අපි හිතන් ඉන්නේ නෙත්මිලගේ අම්මේ නෙත්මිලගේ සීයලගේ ගෙවල් පැත්තේ ටිකක් ගිහින් එන්න“                  
සම්පත් තේ කෝප්පය තොල ගාමින් කියද්දී සෙනුරි හිස ඔසවා ඔහු දෙස බැලීය.
“ වැඩි දුර නෑ මහත්තයා කාර් එකේ යනහින්දා ඉක්මනට යතහැකි .නෙත්මිලාගේ තාත්තා කඩ මණ්ඩිය පැත්තට ගියා .එනකම් ඉන්න පුළුවන් නම් එයත් එක්කම යන්න පුළුවන් “
“ ඔව් සේදිරිස් එක්කම යමු “
“ අම්මේ මමත් සීයලගේ ගෙදර යන්නද? “ නෙත්මි හුරතල් වෙමින් ඇසීය.
“ මෙයාටත් ඉතින් ගමන් බිමන් කිව්වොත් ලෙඩ මතකත් නෑ .හදිස්සියේ තාත්තලගේ ගෙවල් පැත්තේ යන්නේ  උවමනාවක්ද මහත්තයා ?“
“ අනේ නෑ නෙත්මිලගේ අම්මේ .ටිකක් කතා බහ කරන්න .අනික වලව්ව ගැන හොඳටම දන්න කෙනෙක්නේ නෙත්මිලගේ සීයා.ඉතින් අපිට වලව්ව ගැන විස්තර ටිකක් අහගන්නත් උනත් පුළුවන් නේ “
   
 “ එතකොට සේදිරිස් කියන්නේ වලව්වේ උරුමකාරයෝ විදිහට වලව්වේ ජීවත් වෙලා තියෙන්නේ පරම්පරා දෙකයි “
“ ඔව් මහත්තයෝ .අපේ තාත්තා කියලා තියෙන්නේ නම් එහෙමයි .ඒ උනාට උන්දෑ වලව්ව ගැන වැඩි විස්තරයක් මට කියන්නනේ නෑ.ඒගැන කතා කරන්න වැඩි කැමැත්තක් නෑ අපේ තාත්තා “      සේදිරිස් කාරයේ ජනේලයෙන් එපිට බලාගෙන කීය.
                         කාරය වලවල් වල වැටෙමින් කඳු පාරක් මතින් ගමන් කරමින් තිබිණි.  සේදිරිස්ලාගේ නිවසට ඒමට පිටත් වූ වෙලාවේ පටන් මේ වන තුරුම සෙනුරි මේ ගැන කතා නොකිරීම පිළිබඳ සම්පත්ට පුදුම සිතිණි.නමුත් වචන වලට වඩා ඈත කඳු දෙස බලා සිටින ඇගේ නිහඩ බව සේදිරිස්ගේ පියා හමුවන තුරු ඇති නොඉවසිල්ල මනාව පෙන්වන බව සම්පත්ට වැටහිණි.
“ මහත්තයා ඔතනින් වමට හරවන්න “
“ අර තියෙන්නේ අපේ මල්ලිලගේ ගෙදර “ සේදිරිස් මඳක් දුරින් පිහිටි නිවසක් පෙන්වා කීය.කාරය නිවස දෙසට පැමිණෙන විට නිවස දෙසින් පැමිණි යතුරුපැදියක් කාරය දැක නතර කෙරිණි.
“ මල්ලි කොහෙ හරි යන්න වගේ යන්නේ මහත්තයලා යන්න මම මල්ලිත් එක්ක පොඩ්ඩක් කතා කරලා එන්නම් “            රථය නැවැත්වූ පසු සේදිරිස් ඉන් බැස කීය.
                        සුදු හුණු ගෑ කුඩා නිවසේ ඉස්තෝප්පුවේ බුලත් විට කමින් ඈත අහස දෙස බලාගෙන කල්පනාවක වැටී සිටින ඔවුන්ට පිටුපා හිඳගෙන සිටින වියපත් රුවක් රථයෙන් එලියට බට සෙනුරිත් සම්පතුත් දෙස නුවුමනාවෙන් බලා නැවතත් අහස දෙස බලාගෙන කල්පනාවට වැටිණි.
“ ඒ අපේ සීයා නෝනා .සීයට ටිකක් ඇස් පේනවා මදි .ඒකයි මාව අඳුරන්නේ නෑ වගේ අහක බලා ගත්තේ .“
         නෙත්මි සෙනුරිත් සම්පතුත් පසු කර ගෙන නිවස දෙසට දිව ගියාය.ඇගේ කටහඩින් මහලු මිනිසා ගැස්සුණි.
“ මොනවද සීයේ ඔය හැටි කල්පනා කරන්නේ ?“
             ඔහු නෙත්මි දෙස බලා සිනාසී තමා දෙස මහත් ඕනෑකමින් බලා සිටින බව සෙනුරිට සිතිණි.ඒ සේදිරිස්ගේ පියා තමන් දුටු  මුල්ම වතාව නිසා යයි ඇයට සිතිණි.නෙත්මි තමන් අසලට පැමිණි බව හෝ නොසැලකූ ඔහු තවත් සුලු වෙලාවක් සෙනුරි දෙස බලා සිට යමක් සිහි වූවා මෙන් එක්වරම කලබලයෙන් පුටුවෙන් නැගී සිටියේය.
“ සුදු මැණිකේ.......... සුදු මැණිකේ ..........කෙල්ලේ  “
           ඔහු තමන් දෙසට දෑත දිගු කරගෙන දිව එන බව දුටු සෙනුරිට පුදුමයෙන් බලා සිටියාය.ඇය පමණක් නොව සම්පතුත් නෙත්මිත් ඔහුගේ හඩින් දිව ආ සේදිරිසුත් විශ්මයෙන් බලා සිටින බව ඇය දිටීය.මඳක් දුර කලබලයෙන් ඇවිද ගෙන ආ මහලු මිනිසා පය පැකිලී ඇද වැටෙද්දීම සම්පත් ඉදිරියට දිව ගොස් ඔහුව වත්තන් කර ගත්තේය.සේදිරිසුත් සම්පතුත් ඔහුව අමාරුවෙන් වත්තන් කරගෙන ගොස් පුටුවක හිඳවීය.
          සේදිරිස්ගේ පියා තමාට රැවටී ඇත්තේ සිහිනයේ සිටි ගැහැණු ලමයා යයි කියා බව සෙනුරිට වැටහිණි.
“ ඒ අලුතෙන් වලව්වට ආපු මහත්තයා බැඳලා ඉන්න නෝනා තාත්තේ “
                                                       ඔහු පියවි සිහියට පැමිණ සෙනුරි දෙස බලාගෙන සිටියේය.ඔහුගේ වියපත් දෑස් වලින් කඳුලු වැටෙන අයුරු සෙනුරිට පෙනිණි.
“ ඒකිගේ මුණමයි නෝනට තියෙන්නේ නෝනා “
                  සෙනුරි වහා ඔහු ලඟට දිව ගියාය.ඔහුගේ දෑත් අල්ලාගෙන ඇය ඔහු අසලින් වාඩි වූවාය.
“ ඒ කවුද සීයේ ?කවුද මම වගේ ගෑණු ලමයා “
                 ඔහු වචනයකුදු නොදොඩා ඉවත බලා ගෙන සිටියේය.නෙත්මිත් සේදිරිසුත් සේදිරිස්ගේ සොහොයුරාගේ බිරිඳත් සිදුවන දේ පිලිබඳ වැටහීමක් නොමැතිව ප්‍රශ්නාර්ථයෙන් යුක්තව බලා සිටියහ.
“ කියන්න සීයේ සුදු මැණිකේ කවුද ? සුදු අප්පෝ බංඩාර හාමු ඒ අය කවුද? “
                        ඒ වදන් වලින් ඔහුගේ අවධානය ලබා ගන්නට සෙනුරි සමත් විය.
“ මම දන්නේ නැති දෙයකින් මම දුක් විඳිනවා සීයේ.පින් සිද්ධ වෙයි ඒ මොකද්ද කියලා මට කියන්න සීයේ “
                      එවර සෙනුරිගේ දෑස් වලටද කඳුළු පැමිණ ඇති බව සම්පත් යන්තමට දිටීය.
“ මම මේවෙනකන් මේ ගැන කාටවත් කියලා නෑ .නෝනා මේ ගැන සුළුවෙන් හරි දැන ගෙන ඉන්න බව මම දන්නවා.නෝනට මේ ගැන කිව්වේ නැත්තම් මම පවුකාරයෙක් වෙනවා.මේ ගැන කිව්වහම සමහරවිට මම ඒකිට කරපු වැරැද්දට මට සමාව හම්බෙයි “
                            සෙනුරි පසෙක පුටුවක හිඳගෙන මනසේ ඇති අවුල් ජාලයකට පිලිතුරු ලබාගන්නට සේදිරිස්ගේ පියාගේ කතාවට සවන් දෙන්නට සූදානම් වූවාය.මේ කතාව ඇසීමට ඇයට තරම් ඕනෑකමක් සම්පත්ටද තිබිණි.
          සේදිරිස්ගේ පියා මුවේ තිබූ බුලත් හපය ඉවත දමා වතුර වීදුරුවක් බී ඉවත බලාගෙනම කතාව ආරම්භ කලේය.
 “ සුදු අප්පෝ කියන්නේ බංඩාර හාමුගේ එකම පුතා.හාමුලගේ පවුලේ එකම පිරිමි දරුවා.අනෙක් තුන් දෙනාම ගෑණු දරුවෝ.බංඩාර හාමු ගාව තිබුනු දරදඬු ගති මොනවත් සුදු අප්පෝ ළඟවත් හාමිනේ ළඟවත් තිබ්බේ නෑ.ගෑණූ දරුවොත් හාමිනේ වගේම අහිංසකයි.
                       සුදු මැණිකේ එතනහාමිගේ දුව.කෙල්ලගේ අපුච්චා රණ්ඩුවකදී හාමුව ආරස්සා කරන්න ගිහින් කඩු පාරක් කාලා මලා.ඒකියි එතනහාමියි ජීවත් වුනේ වලව් වත්තේ කෙලවරට වෙන්න හාමු  දීපු ඉඩම් කෑල්ලක පැලක් අටෝගෙන.ඒකි නෝනා වගේම ලස්සනයි අහිංසයි නෝනා “
                 ඔහු නැවත වරක් සෙනුරි දෙස බලා කීය.ඇය කුහුලින් යුතුව ඔහුගේ කතාවට සවන් දීගෙන සිටියාය.
               “ එතනහාමි එදා ඉඳන් කරේ වලව්වේ දැලි කුණූ අතගාන එක .හාමුගේ ගෑණු දරුවෝ හින්දා කෙල්ලත් වලව්ව එක්ක තිබුනේ ලොකු සම්බන්ධයක් .මම වලව්වේ කරේ හාමුගේ කාර් එකේ රියැදුරු රක්සාව.නිතර වලව්වට යන ඒකියි සුදු අප්පොයි අතරේ කවුරුත් නොදැනිම පලහිලව්වක් පටන් අරන් තිබුනා.හාමු මේක දැනගන්නකොට ඒක සෑහෙන දුර ගිහිල්ලයි තිබුනේ .හාමුට මේ පලහිලව්ව කන වැකුනා විතරයි පහර කාපු නයෙක් වගේ කිපුනා.ඒත් අප්පෝ සුදු මැණිකේව අමතක කරන්ඩ ලෑස්ති වුනේ නෑ.
                  අප්පෝ කිව්වෙම මට සුදු මැණිකේ අමතක කරන්න බෑ .මට ඒකිව නොලැබුනොත් ඇල්ලෙන් පැනලා මැරෙනවා කියලා.අප්පෝ ඒ වෙන කොට කොලීජියේ දොස්තර විභාගෙට ඉගෙනගන්නවා.මේ කටයුතු හින්දා අප්පොගේ විභාග වැඩත් අතපහු වෙලා තිබුනේ.හදිසියේම හාමු වෙනස් වුනා.හාමු දවසක් අප්පොට කතා කලා.ඒ කතා කරන තැන මමත් හිටියා.හාමු අප්පොට කිව්වේ උඹලා දෙන්නගේ සම්බන්දෙට මගේ අකමැත්තක් නෑ .අකමැති උනත් වැඩක් නෑ.හැබැයි උඹ මොන දේ කරන්නත් උඹේ දොස්තර විබාගේ අහවර කරලා ඉන්න ඔනේ කියලා.ඒ වෙලාවේ අප්පෝ දණ ගහලා හාමුට වැන්දා .ඒ වෙලේ මටත් ඇති වුනේ නිමක් නැති සතුටක් මහත්තයෝ .මොකද උන් දෙන්නගේ සම්බන්දෙට කැමති උනු එකම මිනිහා මම“
                  ඔහු කතාව මඳකට නවත්වා තවත් වතුර උගුරක් බීය.
                     “ හාමිනේ සුදු අප්පෝ මේ හැමෝම පුදුම උනා බංඩාර හාමුගේ තීරණේට.මොකද ඒ මිනිහගේ හිත ගලක්  කියන්න කවුරුත් දැන ගෙන හිටියා.සුදු අප්පෝ විබාගේ ඉවර කරන්න කොළඹ රටට ගියා.වලව්වේ පත්තු වෙලා තිබුන ගින්න ඒ විදහට නිමිලා ගියා.දවසක් උදේ හාමු මට සුදු මැණිකෙට පණිවිඩයක් කියන්න කිව්වා වලව්වට ඇවිල්ලා යන්න කියලා.මමත් වෙන ගමනක් යන ගමන් ඒ පණිවිඩේ ඒකිට දැන්නුවා.මට එතකොට බයක් තිබුනෙත් නෑ ඒ වෙද්දි හාමු උනත් ඔය සම්බන්දව කතා කලේ නෑ.
                 නමුත් හැන්දෑවේ වලව්වේ ආය ඇවිස්සිලා තිබුනා.සුදු මැණිකේ ඒවෙන කොට ආගිය අතක් නැතුව හිටියේ.වත්තේ හිටපු මිනිස්සු දැකලා තිබුනා කෙල්ල වලව්ව පැත්තට යනවා.වලව්වට පොලිස්සියෙන් ආවාම හාමු කිව්වේ සුදු අප්පෝ කොලීජියේ ගෑණු ලමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියනවා ඒ බව ලියුමකින් කියලා තියනවා කියලා කෙල්ලට විස්තරේ කිව්වා කියලා.ඊට පස්සේ ඒකි වැලහින්න වගේ අඬ අඬා ඇල්ල පැත්තට යනව දැක්ක කියලා.ඊට පස්සේ සේරම හිතුවේ ඒකි ඇල්ලට පැනලා දිවි නහගත්තා කියලා දුකට.ඒත් මම දන්නවා මහත්තයෝ සුදු අප්පෝ කවදාවත්ම එහෙම කරන්නේ නෑ කියලා.කෙල්ලගේ අම්මත් ඉන්පස්සේ ලෙඩ උනා අඬා වැලපිලම.
                    ඔය වෙන කොට වලව්වේ හිටියා ගුනේරිස් කියලා තිරිසනෙක්.හාමුගේ හැම නොමනා වැඩක්ම කලේ ඒ කාලකන්නියා තමා.ඔය සිද්දියෙන් සති දෙකකට විතර පස්සේ ගුනේරිසයගේ පෙරැත්තටෙම ඌත් එක්ක රා කලයක් බොන්න ඉඳ ගත්තා.හැබැයි මම රා බොනවට වැඩිය ඌට පෙව්වා.වලව්වේ හාමු සම්බන්ධව වෙන හැම දේම ගුනේරිසයා දන්නවා.උගෙන් වෙච්ච දේ මොකද්ද කියලා හරියටම දැනගන්ඩ ඌ හොඳටම මත් උනාට පස්සේ මම හෙමීට උගෙන් කතාවට පොට පාදගත්තා .ඒ වෙලාවේ ඌ කියපු දේවල් අහපුවාම මගේ බඩ පපුව දාලා ගියා මහත්තයෝ“ ඔහු හැඩුම්බර මුහුණකින් සමිපත් දෙස බැලීය.
                 “ එදා මගේ පනිවිඩෙන් වලව්වට ගියාට පස්සේ හාමු කෙල්ලට කියලා සුදු අප්පොව අමතක කරපන් නැත්තම් මරනවා කියලා .කෙල්ල අඬ අඬා කියලා තියෙන්නේ අප්පොව අමතක කරන්න බෑ කියලා.කාලකන්නි හාමු එදා කෙල්ලව වලව්වට ගෙන්වලා තියෙන්නේ වලව්වේ හාමිනෙයි ගෑණු දරුවොයි නැති වෙලාවේ.කෙල්ලට නොසෑහෙන්න වද හිංසා දීලා වලව්වේ උඩමාලේ තියෙන කරුවල කාමරේට දාලා කන්න බොන්න නොදී හිර කරලා.දවස් ගානක් එහෙම තියන් හිටපු කෙල්ලව අර තිරිසනා විනාස කරලා හාමු ගේ අණෙන් .පස්සේ හාමුයි ගුනේරිසුයි ගිහින් කෙල්ලව ඇල්ලෙන් පල්ලෙහාට දාලා“
                        “ කෙල්ල මැරුනේ මම හින්දා කියලා මගේ හිත හැමවෙලේම කිව්වා නෝනා .අවසානෙදි මම ඇත්ත විස්තරේ පොලිසියට කිව්වා .හාමුයි ගුනේරිසුයි හිරේ ගියා .හාමු ඇප පිට එලියට ආවා.කාලකන්නි ගුනේරිස් ජීවිතාන්තෙටම හිරේට නියම උනා.මේ වෙනකන්ම සුදු අප්පෝ මුකුත් දැනගෙන ඉඳලා නෑ.නමුත් අප්පොට කොහොම හරි මේ දේවල් ආරංචි වෙලා.අප්පෝ ඇවිල්ලා හාමිනේට වැඳලා පන්සලට යනවා කියලා ගිහින් .ඒත් ගිහින් තියෙන්නේ ඇල්ල ළඟට.අප්පෝගේ කාමරේ ලියුම් කරදහියක් තියලා අප්පොත් අවසානෙට ඇල්ලට පැනලා දිවි නහගත්තා.හාමුට කරපු පව්වල සාපේ වැදුනා නෝනා උන්දෑ මැරිලා ගියේ ලෙඩ වෙලා නොවිඳිනා දුක් විඳලා.ඊට පස්සේ හාමිනේ වලව්ව හාමුගේ මල්ලිට නිමල් හාමුට බාරකරලා හාමිනේලගේ ගෙදර ගියා.නිමල් හාමුගේ පුතා වලව්ව සුදු මහත්තයෙක්ට වික්කා.ඊට පස්සේ වලව්ව එක එක අයගේ අතට ගියා“
              කතාව අවසන් වන විට නෙත්මිගෙත් සෙනුරිගෙත් දෑස් කඳුලින් තෙත්ව තිබිණි.
 තවත් මඳ වෙලාවක් ඒ නිවසේද සේදිරිස්ගේ නිවසේ ගත කල ඔවුන් ආපසු එන්නට පිටත් වූහ.ආපසු එන ගමනේදී සෙනුරිගේ සිත මහත් සැහැල්ලුවකින් පිරී තිබිණි.
“ අපි රෙස්ට් එකකටත් එක්ක කොහේ හරි යමුද සෙනූ “
                            ඔහු අසුන මත වූ ඇගේ අත තදින් අල්වා ගනිමින් ඇසීය.
“ අපි හෙට අනිද්දම කන්ද උඩ පන්සලේ හාමුදුරුවෝ වලව්වට ගෙන්වලා ලොකු දානයක් දෙමු සම්පත් අර අසරණ කෙල්ලටයි කොල්ලටයි පින් දීලා.එන ආත්මෙකදිවත් ඒ දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා“ ඇය අසුනේ හිඳගෙනම සම්පත්ගේ උරහිසට හිස තබාගෙන කීය

                                                              --------නිමි---------

පලි   කතාවේ සේරම කොටස් ටික එකතු කරලා pdf එකක් හැදුවා.සම්පූර්ණයෙන් කියවන්න කැමති අයට පහලින් බාගන්න පුළුවන් pdf එක

මෙන්න ලින්ක් එක                      මිලින වූ සඳ.pdf

25 comments:

  1. දුක්බර අවසානයක්. මම හිතුවෙ අන්තිමට සෙනුරිට මොනාහරි කරදරයක් වෙයි කියල ඔය අවතාර නිසා.

    ආයෙත් මේ වගේ කතාවක් ලියපන් මචං.

    ReplyDelete
    Replies
    1. අලුත් කතාවකට idea එකක් තියනවා වෙලාව තියන විදිහට​ බලමු

      Delete
  2. මේක මාර ඉක්මණට ඉවර උනානේ.... හි හි..

    අන්තිම හරිය කඩාගෙන බිදගෙන ගියා වැඩියි කියලත් හිතුනා.. කමක් නෑ...
    මෙගා බලලාම එපා වෙලා ඉන්න එකේ කොට කතා හොදයි...

    හොදයි හොදයි...

    ReplyDelete
    Replies
    1. අවසාන හරියෙදි ලියන්න පොඩ්ඩක් කාලේ මදි උනා.චුට්ටක් වේගෙන් ගියා කියලා මාත් පිලිගන්නවා

      Delete
  3. හැමදේම සතුටින් අවසන් කලොත් ගතියක් නෑ මෙහෙම ඉවර කල එක හොදයි. හිතන්න දෙයක් ඉතිරිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ අවසානේ සතුටුදායක නැද්ද?

      Delete
  4. venas kathavak nisa sira
    kammali nathuva ekadigata kiyavan yanna puluvan
    senurita karadarayak novuna nisa echchara avulak naa

    ReplyDelete
    Replies
    1. උඹ විශ්වාස කරයිද දන්නේ නෑ මචන් දෙවෙනි කෑල්ලෙන් කතාව වෙනස් උනා සම්පූර්ණයෙන්ම. ලියන්න හිතන් හිටියේ වෙනස් විදිහකට

      Delete
  5. හොඳ අවසානයක්...අන්තිම ටිකේ හදිසි වෙලා වැඩිද මන්දා. ඒත් කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අවසානෙදි පොඩ්ඩක් ස්පීඩ් උනා තමා

      Delete
  6. නලීන් අන්කල් කිව්ව දේ හරි,හ්ම්ම්,,අලුත් විදිහක දෙයක් ලියමු එහෙනම් හ්ම්ම්..
    ජයම වේවා සහෝ :)

    ReplyDelete
    Replies
    1. අලුත්ම අදහසක් හිතේ තියනවා බලමු

      Delete
  7. කතාව ඉවර කරන්න හදිස්සි වුනාද මන්දා.. ඒත් ලස්සනයි.. තව එකක් ලියන්න.. වෙනස් කතාවක්.. :)
    එහෙනම් ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අවසාන හරිය පොඩ්ඩක් ස්පීඩ් උනා
      තෑන්ක්ස්

      Delete
  8. හරිම ලස්සන කතාවක් අවතාර්..
    හැමදාම කමෙන්ට් නොකර ගියාට දිගටම කියෙව්වා..

    ආයෙත් අළුත් එකක් ලියමු නේ?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්
      අලුත් එකක් ලියනවා ළඟදිම

      Delete
  9. ලස්සන කතාව.. තව ටිකක් දික් උනානම් කියල හිතුන...
    ජයවේවා.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ලියන්න පොඩ්ඩක් කාලේ මදි උනා
      තෑන්ක්ස්

      Delete
  10. මේ දිග හොදටම ඇති

    ReplyDelete
  11. ලස්සන කතාවක්. තව එකක් ඉක්මනටම ලියමු.

    ReplyDelete
  12. දුක හිතෙන කතාවක් හින්ද මෙච්චර කල් බැලුවේ නැහැ. සතුටු හිතෙන කතාවක් ලියනවනම් අනිවා බලන්නම්. ;)

    ReplyDelete
  13. araliya9/25/2012

    hoda widiyata iwara una eka gananam sathutui.....
    me wagema lassana kathawak ayeth liyanna ayya.....

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම්....
    එතකොට සෙනුරිද ඒ මැරුණු කෙල්ල???????

    ReplyDelete
  15. සමහර ඒවා මගහැරෙන්න ඇති. ඔන්න PDF එක ඩවුන්ලෝඩ් කොර ගත්ත මුල ඉඳම්ම බලන්න

    ReplyDelete
  16. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :-(

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න