Friday, August 10, 2012

වලව්වට පැමිණි අමුත්තා | මිලින වූ සඳ (6 කොටස)

                                         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.

                         සිහිනයේ දුටු පෙම්වතුන් යුවල මුල මත හිඳගෙන එකිනෙකාට තුරුළු වී සිටින අයුරු සෙනුරිට මැවී පෙනෙන්ට විය.තවදුරටත් මෙහි සිටීමට ඇගේ ප්‍රියතාවයක් නොවීය.එහෙයින් ඇය ආපසු යන්නට සම්පත්ට යෝජනා කලාය.ආපසු යන මොහෝතේදී වත් ඇය දිය ඇල්ල දෙස නොබැලීය.මේ තරම් සුන්දර දිය ඇල්ලක බියකරු බවක් පෙනෙන්නේ ඇයි දැයි සෙනුරිට තේරුම් ගැනීම අපහසු විය.තමා පෙරදා සිහිනෙන් දුටුවේ සත්‍ය සිදුවීමක්ම බව සෙනුරිට වැටහිණි.කාරය සේදිරිස්ලාගේ නිවසට යන තුරුම සෙනුරි වචනයක් වත් කතා නොකලාය.සම්පත්ටද ඇගේ යම් වෙනසක් දැනුණ නමුත් ඇය අවට පරිසරය විඳිනවා යයි සිතා ඔහු ඇයට බාධා නොකලේය.

                      කාරය සේදිරිස්ලාගේ මිදුලට ඇතුල්වත්ම පියකරු ගැහැණු ලමයෙක් නිවසින් එලියට පැමිණියාය.ඉන් පසුව කාන්තාවක්ද නිවසින් එලියට ආවාය.ඒ ඇගේ මව වන්නට  ඇතැයි සෙනුරිට සිතුණි. සේදිරිස්ගේ නිවසේ සිට වලව්වට ඇත්තේ සුළු දුරක් යයි සෙනුරිට සිතිණි.
“ අපේ එක්කෙනා කිව්වා මහත්තයලා ඊයේ ආවා කියලා.යමු මහත්තයෝ ගෙට “
“ ඔව් පියවතී අපි ඊයේ උදේ ආවේ .මේ ඉන්නේ මම බැඳලා ඉන්න නෝනා “
               පියවතී සෙනුරි දෙස බලා අහින්සක සිනාවක් පෑවාය.ඔවුන්ගේ සිත් තුල නගරයේ සිටින අයගේ මෙන් කහටක් නැති බව ඇගේ අව්‍යාජ සිනාවෙන්ම සෙනුරි තේරුම් ගත්තාය.
“ ඉන්න මම මහත්තයලට තේ ඩිංගක් හදාගෙන එන්නම් “
“ නෙත්මි අද ඉස්කෝලේ ගියේ නැද්ද  “
“ අද ඉස්කෝලේ නිවාඩු දෙනවා මහත්තයා.උගන්වන්නෙත් නැති හින්දා හිටියා “
“ දන්නවද සෙනූ අර අපේ ගාර්ඩ්න් එකේ ලොකු රෝස පාත්ති තියෙන්නේ .ඒවා නෙත්මිගේ වැඩ තමයි “
           සම්පත් එසේ කියද්දි දොර අසල හුන් පොඩි එකී මඳ සිනාවක් පා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය.
“ නෙත්මි ඉස්කෝලේ කීය වසරෙද ඉන්නේ  “
“ අටේ පන්තියේ නෝනා “
“ මොකද අද සේදිරිස් පේන්න නැත්තේ නෙත්මි “
“ සීයට පොඩ්ඩක් අසනීපයි කියලා පණිවිඩයක් එවලා තිබුනා.තාත්තා සීයලගේ ගෙදර ගියා මහත්තයා “
“ අපේ මනුස්සයා ඊයේ හැන්දෑවේ වලව්ව පැත්තේ එන්න හිටියේ මහත්තයා .තාත්තට සනීප නෑ කියලා පණිවිඩේ හම්බඋනාට පස්සේ හැන්දෑවෙම එහෙ ගියා “ පියවතී තේ කෝප්ප දෙකක් රැගෙන විත් ඔවුනට පිලිගන්වන ගමන් කීය.
“ පියවතී අපි අද ආවේ පියවතීලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් “
“ මහත්තයලට නොකරන උදව් තියේද මහත්තයා කියන්න “
“ මට තව දවසකින් දෙකකින් විතර ආපහු කොළඹ යන්න වෙලා තියනවා.එතකොට සෙනූට ඉන්න වෙන්නේ තනියම .මම ආවේ හවසට හවසට පුළුවන්නම් නෙත්මිව ඒ පැත්තේ එවන්න පුළුවන්ද කියලා අහන්න .සෙනූට කතා කර කර ඉන්න “
“ ඒක මොකද්ද මහත්තයා කෙල්ල එයි.ඒකිත් දැන් ඉස්කොලේ නිවාඩු හින්දා කම්මැලිකමේනේ ඉන්නේ “
                සෙනුරිට සම්පත් ගැන පුදුම සිතිණි.ඔහුව එතනම සිප වැළඳ ගන්නට තරම් ආදරයක් ඔහු කෙරෙහි ඇති විය.සම්පත් කොළඹ යන්නට සිදු වෙනවායයි කී මොහොතේ ඇය කල්පනා කලේ ඔහු ගිය පසු කතා කිරීමට වත් කෙනෙක් නොමැතිව සිටින්නේ කොහොමදැයි කියාය.
“ නෙත්මි කැමතිද වලව්වට ඇවිල්ලා සෙනුරි නෝනත් එක්ක කාලේ ගෙවන්න “
“ පුළුවන් මහත්තයා.දැන් ඉස්කෝලෙත් නිවාඩු හින්දා මට දවසම නෝනා එක්ක ඉන්න එන්න පුළුවන් “
                නෙත්මි කට පුරා සිනාසෙමින් පවසයි.
“ එහෙනම් පියවතී අපි ගිහිල්ලා එන්නම් .අනිද්දට විතර නෙත්මිව ඒ පැත්තේ එවන්නකෝ “
               පොඩි එකී කාරය නොපෙනී යන තෙක්ම සෙනුරිට අත වැනුවාය.
“ හරි හොඳ මිනිස්සු නේද සම්පත් “
“ මම බන්ග්ලෝ එක ගත්තට පස්සේ මෙහෙ ග්‍රාම සේවකට කිව්වා බලාගන්න දෙන්න හොඳ කෙනෙක් හොයලා දෙන්න කියලා.ග්‍රාම සේවක රාලහාමි තමයි මට සේදිරිස්ව මුන ගැස්සුවේ.හරි හොඳ මිනිහෙක්.ඔය නෙත්මිට හොඳට ඉගෙන ගන්න පුළුවන් .පස්සේ මම ඒ අයට කිව්වා වියදම් සේරම මම දෙන්නම් නෙත්මිට හොඳට උගන්වන්න කියලා “
         පියවතී සම්පත්ට ඒතරමට ම ගරු කරන්නේ  ඒ හේතුවනිසා වන්නට ඇතියි සෙනුරිට සිතිණි.ඇයට සම්පත්ගේ ගතිතුණ ගැන සතුටු සිතිණි.
“ ඔයාට පින් සම්පත් නෙත්මිට වලව්වට එන්න කියලා කියපු එකට “
“ පින් දීලා විතරක්ම නම් මදි “
      සෙනුරි මඳ සිනාවක් පාමින් අසුනේ හිඳගෙනම සම්පත්ගේ අසුන දෙසට බර වී ඔහුගේ කමුම්ල සිප ගත්තාය.
“ ෂා අපරාදේ “
“ ඇයි?  “ සෙනුරි ඔහු දෙස ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලමින් ඇසීය.
“ ඔහොම බවක් දන්නවනම් නෙත්මිව අදම එක්කන් එනවා “
                                 ඔහු කී දෙයට ඇයටද සිනා නැඟිණි.
“ ඒක නෙමේ සම්පත් මම ඔයාට කිව්වේවත් නෑනේ ඔයා ගියාම මට පාළුයි කියලා .ඔයාට කොහොමද හිතුනේ  “
“ ඔය තනිකම පාළුව කියන දේ මගේ ජීවිතේ ගොඩක් ළගින් තිබුන දෙයක් සෙනූ .මම ගියාම ඔයාට කතා කරන්නවත් කවුරුත් නෑනේ .අනික කමලා පියල් උනත් ඒ අයගේ වැඩ වල.ඉතින් මට හිතුනා නෙත්මිට එන්න කියන එකට ඔයාත් කැමති වෙයි කියලා “
                        ඔවුන් ආපසු වලව්වට එන විට සැඳෑ අඳුර පරිසරය වෙලා ගනිමින් තිබුනි.


 පසුවදා හිමිදිරියේම සම්පත් කොළඹ බලා යන්නට පිටත් වන විට සෙනුරි දුකින් බලා සිටියාය.
“ ඔහොම බලන් ඉන්න එපා සෙනූ දවස් දෙකයිනේ .අනික නෙත්මි වලව්වට එනවනේ එතකොට ඔයාට පාළුවක් නැති වෙයි ‘‘
“ ඔයා ගිහින් එන්න සම්පත් “ ඇය ඔහුගේ නලලත සිම්බාය.
              කාරය වලව් වත්තේ ගේට්ටුවෙන් පිටත් වී පහලට දිවෙන පාර දිගේ නොපෙනී යන අයුරු ඇය මිදුලට විත් බලා සිටියාය.දවස් දෙකක් ඔහු නොමැතිව මේ මන්දිරයේ ගත කිරීම අපහසු වේයයි ඇයට සිතිණ.
                       උදෑසන ආහාරයෙන් පසු සෙනුරි නැවතත් නවකතා පොත අතට ගෙන බැල්කනියට වී එය කියවන්නට විය.ඇය කියවන්නට පුරුදු වී සිටියේ කුඩා කල සිටමය.එයින් ඇය ඇයගේ තනිකම පාළුව නැති කරගන්නට උත්සාහ කලාය.මෙතෙක් කල් පුරාවට තමන් කියවා ඇති පොත් මෙපමණකැයි කියා කීමට පවා අපහසු බව ඇයට සිතිනි.

          පහල දෙසින් වියපත් පිරිමි කටහඬක් ඇසෙන්නට වූ නිසා සෙනුරි නවකතාව කියවීම මඳකට නවත්වා තරප්පු පෙල දිගේ පහලට පිවිසියාය.මුළුතැන්ගෙය දෙසින් සංවාදයක් ඇසුන නිසා ඇය ඒ දෙසට පියමැන්නාය.කුස්සියේ බංකුවක් මත වාඩිවී කමලා සමඟ කතා කරමින් සිටින නෙත්මිත් තරමක් වියපත් මිනිසකුත් සෙනුරි දුටුවාය.සෙනුරි දුටු ඔවුන් දෙදෙනා බංකුවෙන් නැඟී සිට ඇය හා සිනාසිණි.
“ නෝනා මේ තමා අපේ තාත්තා “
              වියපත් මිනිසා බයාදු සිනාවක් පෑවේය.
“ කෙල්ල වලව්වට එනවා කිව්ව හින්දා ඒ එක්කම ආවා නෝනා .සෑහෙන කාලෙකින් වලව්ව පැත්තේ එන්න හම්බුනෙත් නෑනේ “
“ දැන් තාත්තට හොඳයිද සේදිරිස් “
“ දැන් ඩිංගක් ගුනයි නෝනා.මම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එක්කන් ගිහින් බෙහෙත් අරන් දීලා ආවේ “
                 සෙනුරිගේ ඇරයුම පිට සේදිරිස් දිවා ආහාරය සඳහාද වලව්වේ නැවතිනි.දිවා ආහාරයෙන් පසුව සෙනුරි පිරිස සමඟ කතාබහේ යෙදුනාය.නෙත්මිටත් සේදිරිස්ටත් වලව්වේ කිසිදු ආගන්තුක බවක් පෙනෙන්ට නැතැයි ඔවුන් ගේ ලීලාවෙන් සෙනුරිට වැටහිණි.තමන් සමඟ කෙසේ වෙතත් ඔවුන් වලව්ව සමඟ කුළුපග වි ඇතැයි ඇය සිතුවාය.කුස්සියේ අස් පස් කිරීම් අවසන් වීමෙන් පසුව කමලාද ඔවුන් සමඟ කතාවට වැටිණි.
“ බේබි දන්නවද අපි අතරින් වැඩියෙන්ම මේ වලව්ව ගැන දන්නේ සේදිරිස් “
                   කමලාගේ ඒ වචන ටික සෙනුරිගේ හිතේ තදින් පැලපදියම් විණි.මෙතෙක් වෙලා සිත තුල ඔඩුදුවමින්  තිබූ පිළිතුරු නැති ගැටළු වලට පිළිතුරු සේදිරිස්ගෙන් ලබා ගත හැකි වෙතැයි ඇය සිතන්නට වූවාය.
“ මොනවද සේදිරිස් මේ වලව්ව ගැන දන්නේ ? “
“ මම නෙවේ නෝනා මේ ගැන හොඳටම දන්නේ අපේ අපුච්චා .උන්දෑ කුඩා සංදියේ ඉඳලම ඉඳල තියෙන්නේ මේ වලව්වේ.ඒ කියන්නේ මුල්ම අයිතිකාරයෝ ළඟ.ඒ පරම්පරාව හොඳ රදල පරම්පරාවක්ලු “
“ අපුච්චා අපේ අම්මා එක්ක දීග යනකම් ඉඳලා තියෙන්නේ මේ වලව්වේම තමා.පස්සේ ඔය දැන් ඉන්න අපේ මහ ගෙදරට පදිංචියට ගොහින්.පස්සේ මම කුඩා කාලේ වලව්වේ හාමුලා වලව්ව දාලා ගිහින්.ඒ අයට සෑහෙන්න කරදර උනාලු ඒ කාලේ “
“කරදර කිව්වේ සේදිරිස් ? “
“ මම වැඩිය ඔය ගැන දන්නේ නෑ නෝනා අපේ අපුච්චත් අපිත් එක්ක ඕවා කියලා තියෙන්නේ බොහොම සුළුවෙන් “
                       ඊට වඩා සේදිරිස් ඒ අතීතය ගැන නොදන්නා බව සෙනුරිට වැටහිණි.සේදිරිස් කියන හැටියට ඔහුගේ පියා මේ සියල්ල දන්නවා විය හැකියි  ඇය සිතුවාය.මඳ වෙලාවක් පැවති කතාබහෙන් අනතුරුව සේදිරිස් නික්ම ගියේය.නෙත්මිද ඉක්මනින් සෙනුරි හා ඇසුරට වැටිණි.ඔවුන් දෙදෙනා වලව් මිදුල පුරා ඇවිදිමින් නොයෙක් දේ ගැන කතා කරමින් කල් ගෙවූහ.නෙත්මි පියල්ද සමගින් මල් වලට සාත්තු කරන දෙස සෙනුරි ආසාවෙන් බලා සිටියාය.නෙත්මි වයසින් කුඩා වුවද වයසට වඩා දැනුම් තේරුම් ඇති එකියකැයි වරෙක ඇයට සිතිණි.එදින සවස් භාගයම නෙත්මි සමඟ කාලය ගත කල නිසා සම්පත් නැති කමින් ඇති වූ පාළුව මැකී ගියා සේ ඇයට දැනිණි.
           ඇය නින්දට පෙර කමලා කියූ පරිදි සයනය මතවාඩිවී ගෙනම මඳක් භාවනා කලාය.
“ බේබි නිදාගන්න කලින් පොඩි වෙලාවක් භාවනා කරලා නිදාගන්න කෝ එතකොට ඔය හීන පේන්නේ නෑ රෑට “
          තමන් හීනයක් දුටු බව කමලාට කියා සිටියදී කමලා කිව්වේ එයයි.පසුව කමලා සෙනුරිට භාවනා කරන අන්දම ද කියා දුන්නාය.භාවනා කරායින් පසුව සෙනුරි නින්දට වැටිණි.

15 comments:

  1. මට මැද හරියේ එවුවා මිස් උනා බං..
    ඒ ටිකත් කියවලම කමෙන්ට් එකක් දාන්නං..

    ReplyDelete
    Replies
    1. ඒ ටිකත් කියවලා ඉඳින්කෝ එහෙනම්..

      Delete
  2. මොනවද ඉතින්... ලොවෙත් එල..!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොටත් රාජ සම්පත්ම ලැබේවා

      Delete
  3. Anonymous8/11/2012

    තව කොච්චර කොටස් තියනවද හ්ම්ම්..කතාව හොඳට ගලාගෙන යනවා..ලියන්නකෝ අපි කියවන්නම් :)

    ReplyDelete
    Replies
    1. තව කොටස් කීපයකින් කතාව නිමයි

      Delete
  4. සැඟවුණු අතීතයක් සොයා යන වීර වික්‍රමාන්විත, ත්‍රාසජනක ගමනක් ! ඉස්සරහට කතාව ඒ වගේ ද? ඉක්මනට ඉතුරු ටිකත් ලියන්ඩ.

    මේ සතියෙ කාටුන් එක මඟ එනව ද?

    ReplyDelete
    Replies
    1. කාටුන් එක අඳිමින්. මෙදා සැරේ අවතාර් කොලුවත් කාටුන් එකේ ඈ.

      Delete
  5. araliya8/11/2012

    mama hari asai me wage katha kiyawanna.........ehenam itiri ktasath ikmanatama danna ayya........... :)

    ReplyDelete
    Replies
    1. ළඟදීම ඉතිරි ටික

      Delete
    2. araliya8/11/2012

      lagadima kiwwe me mase anthima wage nemeineda ayya?? :)

      Delete
    3. ප්හු දැන් දෙමුකෝ උත්තර .ළඟදීම කිව්වට සති එක හමාරකින් විතර

      Delete
  6. ලස්සන කතාවක්..ශෛලියත් අපූරුයි..
    දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
  7. කතාව නියමයි.. ජය වේවා

    ReplyDelete
  8. පට්ට පට පට :)
    හත බලන්න දුවමින් :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න