තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
සිහිනයේ දුටු පෙම්වතුන් යුවල මුල මත හිඳගෙන එකිනෙකාට තුරුළු වී සිටින අයුරු සෙනුරිට මැවී පෙනෙන්ට විය.තවදුරටත් මෙහි සිටීමට ඇගේ ප්‍රියතාවයක් නොවීය.එහෙයින් ඇය ආපසු යන්නට සම්පත්ට යෝජනා කලාය.ආපසු යන මොහෝතේදී වත් ඇය දිය ඇල්ල දෙස නොබැලීය.මේ තරම් සුන්දර දිය ඇල්ලක බියකරු බවක් පෙනෙන්නේ ඇයි දැයි සෙනුරිට තේරුම් ගැනීම අපහසු විය.තමා පෙරදා සිහිනෙන් දුටුවේ සත්‍ය සිදුවීමක්ම බව සෙනුරිට වැටහිණි.කාරය සේදිරිස්ලාගේ නිවසට යන තුරුම සෙනුරි වචනයක් වත් කතා නොකලාය.සම්පත්ටද ඇගේ යම් වෙනසක් දැනුණ නමුත් ඇය අවට පරිසරය විඳිනවා යයි සිතා ඔහු ඇයට බාධා නොකලේය.
කාරය සේදිරිස්ලාගේ මිදුලට ඇතුල්වත්ම පියකරු ගැහැණු ලමයෙක් නිවසින් එලියට පැමිණියාය.ඉන් පසුව කාන්තාවක්ද නිවසින් එලියට ආවාය.ඒ ඇගේ මව වන්නට ඇතැයි සෙනුරිට සිතුණි. සේදිරිස්ගේ නිවසේ සිට වලව්වට ඇත්තේ සුළු දුරක් යයි සෙනුරිට සිතිණි.
“ අපේ එක්කෙනා කිව්වා මහත්තයලා ඊයේ ආවා කියලා.යමු මහත්තයෝ ගෙට “
“ ඔව් පියවතී අපි ඊයේ උදේ ආවේ .මේ ඉන්නේ මම බැඳලා ඉන්න නෝනා “


