Showing posts with label ගමේ කතා. Show all posts
Showing posts with label ගමේ කතා. Show all posts

Saturday, November 9, 2013

කුඹුර,ගොවිතැන සමඟ බැඳුනු මිහිරි අතීතය.....

                                 මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුය යන කියමන එදාට වඩා අදට මැනවින් ගැලපෙන්නේය.මන්ද අද තරුන පරපුරට වෙලකට බහින්නට කිව්වොත් ප්‍රතික්ෂේප නොකරන්නේ සීමිත පිරිසක් බැවිනි. ගම්බද පරිසරයක හැදීවැඩුනු අයෙකු ලෙසින් මා හට නම් ඇත්තේ කුඹුර,ගොයම,ගොවිතැන සමඟ බද්ධ වූ ළමා කාලයකි.කුඹුර සහ ගොවිතැන කුඩා කලදී අරුමයක් නොවන්නේ පියා ගොවිතැනේ නිරත වීමත් විශාල වෙල් යායකින් සමන්විත වුනු ගමක හැදී වැඩීමත් නිසාවෙනි.දැනට වසර ගණනකින් කුඹුරකට නොබැස්ස නමුත් ගොයම් කැපීම,පැල සිටවීම ආදී බොහෝ දේ එදා මෙන්ම අදටත් කල හැකි යැයි සිතෙන්නේ එදා ලැබූ පලපුරුද්ද නිසා යැයි වරෙක සිතේ.
           අප කුඩා කලදී වැඩිහිටියන් සැලකුවේ ගොවිතැනේ යම් තැන් ඉගෙනීම මහා භාරදූර වැඩක් අයුරිනි.මනා පුහුණුවක් නැත්තවුන් ලෙස බොහෝ තැන් වලදී බොහෝ කාර්යයන් වලදී වැඩිහිටියන්ගේ දෝෂාරෝපනයට ලක්වීම එකල සුලබ කරුණකි.කුමන වැරැද්දක් කලද කරන ක්‍රියාව නවතා තමා කුඹුරෙන් ගොඩට ඒමද කල නොහැක්කකි.ඒ නිසා දෝෂාරෝපන උපහාස මැද්දේ කේසේ හෝ ඒ ක්‍රියාවේ පලපුරුදු කාරයෙකු වීමට අපට සිදු විය.ඒ කාලයේ ඇතැම් සිද්ධි මතක් කරන විටදී මුවඟට සිනාවක් නැගෙන්නේ ආයාසයකින් තොරවය.වී ගොවිතැනේ මුලික කරුණක් ලෙස බීජ වැපිරීමේදී කුඩා අප එකල බලාසිටින්නේ උදැල්ලක් අතට ගැනීමට අවසර ලැබෙන කාලය උදාවන තුරුය.එනම් බීජ වැපිරීමට කුඹුර සකස් කිරීමේදී ඇල කැපීමට නම් මනා පලපුරුද්දක් තිබිය යුතුය.වැඩිහිටියන් ඇලවල් කපද්දී,පෝරු ගාද්දි කුඩා අපට ලැබෙන්නේ ඉන්නකි.වර්තමානයේ නොව අප කුඩා කාලයේදී කුඹුර බීජ වැපිරීමට සකස් කල පසු සකස් කල බිම මත එකදු වතුර රඳන වලක් නොතිබිය යුතුය.එමෙන්ම උඩට මතුවු පස් කඳු නොමැතිව සම මට්ටමේ බිමක් තිබිය යුතුය.කාලයෙන් කාලයට ගොවිතැන නවීකරණය වී එවන් දේ අද වන විට ශේෂ වී ඇත.නියමිත් ආකාරයට කුඹුර සකස් කල පසු එකදු තණකොල ගසක්වත් මඩෙන් මතුවී නොපෙනේ.ඒ කුඩා අපගේ ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයන්ය.මන්ද අතට ඉන්නක් හෝ කෝටුවක් ලබා දී අප වෙත පැවරෙන වගකීම නම් මඩෙන් උඩට මතුවී තිබෙන තණකොල ගස් පෑගීමයි.දවස පුරාම මේ කාර්යයේ යෙදී රාත්‍රිය වන විට නින්ද ලබන්නේ දෙපා වල මහත් වූ වේදනාවක් සමඟය.                
කුඹුරු වැඩ කිරීම අද කුලීකාරයින් ලවා කරවා ගත්තද එකල එය සිදු උනේ අත්උදව් ක්‍රමයටය.එනම් වෙල් යායේ සියලු දෙනා අදාල ගොවියාගේ කුඹුරු වැඩට සහය දේ.ඒ වෙනුවට ඔහුද අන් සියලු දෙනාගේ කුඹුරු වැඩට සහය දිය යුතු වේ.එනම් අද මෙන් කුඹුරක වැපිරීමකදී,ගොයම් කැපීමකදී දැකිය හැක්කේ පස් හය දෙනෙකුන් යුත් පිරිසක් නොව විසි දෙනෙකුට නොඅඩු පිරිසකි.උදේ දිවා දෙකටම ඇඹුල හැදෙන එදින කුඹුරේ හිමිකරුට විශේෂ දිනයකි.               
 කුඹුරු වැඩ සම්බන්ධව කුඩා කලදීම මා ලැබූ තවත් විශේෂ අත්දැකීම නම් අත් ට්‍රැක්ටරයෙන් සී සෑමට ලැබීමයි.ගමට ඇති එකම අත්ට්‍රැක්ටරයේ හිමිකරු පියාගේ වැඩිමල් සහෝදරයෙක් වූ හෙයින් අවුරුදු දහය පමණ වියේදී අත්ට්‍රැක්ටරයෙන් සීසෑම පටන් ගන්නට හැකි විය.එම අවස්ථාව ලබාගත් අයුරුද එතරම් මිහිරි නැත.මුල් කාලයේදී සිදු වුනේ කුඹුර පුරා හැතැප්ම ගණනක් ගමන් කරන අත්ට්‍රැක්ටරය පිටිපස්සෙන් ඇවිදීමය.අඩි තුන හමාරක් පමණ උසකින් සිටි මා අත් ට්‍රැක්ටරයෙන් සීසෑමෙ එදින අභ්‍යාසය නිමා වන විට හඳුනා ගත නොහැකි තරමට මඩෙන් නැවී ගොස්ය.මේ අකාරායේ ඉගැන්වීමේ දවස් කීපයකින් පසු අත්ට්‍රැක්ටරය මුල්ම වතාවට සීසෑම සඳහා ලබා දුන් මුල් දවස අද දින මෙන් මතකය.අත් ට්‍රැක්ටරයේ හැඬලය මත අත් තබාගෙන ගමන් කලේ මහත් වූ තැති ගැන්මෙන් යුතුවය.මුල්ම දින එලෙස මා අත්ට්‍රැක්ටරය සමඟ ගමන් කලේ රවුම් දෙකක් පමණි.

Friday, September 28, 2012

අනේ රත්තරන් මලේ ඕක ඇතුලට දාපන් (ගමේ කතා )

                                    අවතාර් අදත් ලෑස්ති වෙන්නේ ගමේ කතාවක් ලියන්න.ඊට කලින් අද ලියන්න යන එක ළඟින් යන අවතාර් පත්තරේක දැකපු කතාවක් ලියන්නම්.මේක එකදාස් නවසිය බර ගණන් වල සිද්ද වෙච්ච එකක් .ඔය කාලේ මිනිහෙක් ඉඳලා තියෙනවා (නම මතක නෑ සිරිපාල කියමුකෝ) හැමදේටම හොට දාන පණ්ඩිත පොරක් .අර අදින දාන එකේ දිමා වගේ වෙන්නැති .මොනව හරි කරන්න තියෙනවනම් පැන ගෙන යනවලු කරන්න.ආයේ කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැල්ලු.
               මිනිහා දවසක් ගිහිල්ලා බණ ගෙදරක.ඒ කාලේ දැන් වගේ විදුලි බලය එහෙම නැහැල්ලු.පෙට්‍රල් මැක්ස් වලින් එලිය අරන් තියෙන්නේ .ඕකට සැරින් සැරේ හුළං ගහන්න ඕනේ කියලා දන්නවනේ.ඉතින් අපේ සිරිපාල ගියපු ගමන් පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහන වැඩේ බාරගත්තලු.මිනිහා දෙතුන් පාරක්ම මේසේ උඩට නැඟලා උජාරුවෙන් හුලං ගැහුවලු පෙට්‍රල් මැක්ස් එකට.ඔහොම ටික වෙලාවක් යද්දි එකපාරටම මැක්ස් එකේ එලිය අඩු උනාලු.එතන හිටපු කොල්ලෙක් සිරිපාල මාමාට දැන් අමාරුත් ඇතිනේ හුලං ගහලම කියලා හුලං ටිකක් ගහන්න නැගිට්ටලු.ඒ එක්කම හිටපං හිටපං මම ගහන්නං කියලා දඩි බිඩි ගාලා මේසෙට ගොඩ උන සිරිපාල හුලං ගහන්න ගත්තලු.මේසෙට නඟිද්දි මිනිහගේ සරම බුරුල් වෙලා තිබිලා තියෙන්නේ.පෙට්‍රල් මැක්ස් එකට හුලං ගහද්දි සිරිපාල දන්නෙම නැතුව සරම බිමලු.හුලං ගහන එකට තිබ්බ ආසාවට මිනිහට සරම අල්ලගන්නවත් මතකයක් නෑලු එවෙලේ.

Tuesday, September 11, 2012

මිරිස් පැල ඔලුවෙන් හිටවීම (ගමේ කතා )


                                අවතාර්  ලියපු ගමේ කතාවක මරු විකලෙන් නටපු හුක්කඩි නැටිල්ල එකේ අනුරලම ගැන තමා මේකෙනුත්     කියවෙන්නේ.අනුරයි විජෙයි (විජේ කියන්නේ අනුරගේ මල්ලි ) ඒ කාලේ ගමේ හිටපු නහට අහන්නැති දෙන්නෙක් කියලා කලින් එකේ කිව්වනේ.මුන් දෙන්නා තරමක කොල්ලෝ කාලේ එළු පට්ටියක් ඇති කරලා තියෙනවා.එළු පට්ටියත් දක්කගෙන කොහෙ හරි වත්තකට දාලා නඩේ එක්ක රවුම් ගහලා හැන්දෑවට ගිහින් ආයේ එළු පට්ටිය ගෙදරට දක්කගෙන එනවා.ඒ දවස් වල මුන් දෙන්නගේ දින චරියාව.කොහොමහරි ඔය එළුවෝ දාලා එන හරියට වෙන්න පීතර කියලා වයසක මනුස්සයෙක් එළවළු වගා කරලා තියෙනවා.දවසක් අනුරලගේ එළුවෝ පීතර උන්දගේ කොටුවට පැනලා මිරිස් පැල වගයක් කාලා.පස්සේ පීතර උන්දා කොටුවට පැනපු එළුවෝ ටික එළවළු කොටුවෙම ගැට ගහලා තියාගෙන අයිතිකාරයා එන්නැතැයි කියලා.

                 හැන්දෑවේ එළුවෝ ගෙනියන්න ආපු අයියා මලෝ දෙන්නට තරු පෙනිලා .පට්ටියෙන් එළුවෝ තුන් හතර දෙනෙක් අඩුයිලු.කළුවර වැටෙනකන් හැමතැනම එළුවෝ හොයලා අහම්බෙන් පීතර උන්දගේ එළවළු කොටුව පැත්තේ යද්දි නැතිවෙච්ච එළුවෝ ටික ඉන්නවලු බැඳලා දාලා .මුන් දෙන්නට මල පැනලා සද්දයක් දාද්දි පීතර උන්දත් නිකන් ඉඳලා නෑ .අයියා මලෝටයි එළුවන්ටයි හොඳට දෙසලා ඊළඟ පාර එහෙම එළවළු කාලා තිබුනොත් එළුවෝ පනපිටින් ඉතුරු කරන්නේ නෑ කියලා තර්ජනයකුත් කරලා.ගමේ අය කියන විදිහට නම් පීතර උන්දා හෙන අහින්සකයිලු අරහෙම කියලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච ආවේගෙට ලු.

Thursday, September 6, 2012

අයියේ අපි ගාව තෙත්තියං නම් නෑ (චාටර් කරවීම)

                                             
                               අවතාර්ගේ ගමේ ඒ කාලේ පොරක් හිටියා ටිකක් අමුතු කෙනෙක් .අද කියන්න යන්නේ මිනිහට සිද්ද වුන දේවල් ටිකක් තමා.හැබැයි හොඳදේවල් නම් නෙමෙයි.කියවලම බලමුකො එහෙනම් .අර දාන අදින එකේ  දිමා තරම් පණ්ඩිත නොවුනත් ඌට තිබුන කුතුහලේම මේ පොරටත් තිබුන නිසා  දිමා ළඟින්ම යන චරිතයක්.මෑන් දැන් රටේ නැති උනත් ඇත්ත නම දාන්න බෑ මොකද බුකියේ ඉන්න හින්දා.උගේ ඇත්ත නම මේකේ දාලා බලන අය ලව්වා ඌව නෝන්ඩි කරවලා කොමෙන්ට් දාගෙන මිනිහා නිවාඩුවට සැපත් වෙන වෙලාවට ගේන ඉතාලි ටොෆිය චොකලට් එක අවතාර්ට නැති කරගන්නේ අහවල් එකකටද?ඒ හින්දා අපි මේ බුවා ට එන් කියලා කියමුකෝ.
                              මේ වෙන කොට එන් තරුණ කොල්ලෙක් ලු.ඉගෙන ගන්න එහෙම ටිකක් දස්සයිලු ඈ.එන් ට මොලේ තිබුනත් හිතන්න බෑ කියලා තමා ගොඩක් අය කිව්වේ.මේ පළවෙනි කතාව අවතාර් දැනගත්තේ එන් ගේ මාමා කෙනෙක් වෙච්ච ආර් නෑ එක්කෝ රංජි කියලම කියමු (රංජි මාමා බුකියේ නෑ කියලා අවතාර්ට සුවර්) රංජි මාමාගෙන්.ඒ දවසක් බණ ගෙදරකදී අයියලා මාමලා එකට එක්කහු වෙලා ගහන කයියකට හොරෙන් කන දාගෙන ඉඳලා

Wednesday, August 22, 2012

මරු විකල්ලෙන් නටන හුක්කඩි නැටිල්ල (ගමේ කතා )

                      ඉස්සර අවතාර්ලා සූටි කාලේ ගමේ හිටපු වැඩිහිටි අය ඉන්න තැන් වලට ඒ කියන්නේ අවතාර්ලගේ වෙලක වැඩකට ඒ අය ආපුහම ගමේ පොදු වැඩක් කරන්න  කස්ටිය සෙට් උනහම උන්දලා කතා කරන මාතෘකා ටිකක් තිබුනා.අවතාර් මේවයෙන් වැඩියෙන්ම ආස කලේ ඒ කාලේ ගමේ හිටපු කොල්ලෝ කුරුට්ටෝ කරපු කුපාඩි වැඩ ගැන අහන්න.ඒ කාලේ ගමේ හිටපු නසනාරි දෙන්න අයිය මලෝ දෙන්නෙක්.මුන් දෙන්න එකට හිටියොත් හිරේ යනවා කියලා පස්සේ කාලෙක උන්ගේ අම්මා අයියව ඒ කියන්නේ අනුරව හමුදාවට යවලා.දැන් මිනිහා හමුදාවේ ඉහල නිලයක්.
                  ඒ කාලේ ගමේ නහර තියෙන කොල්ලෝ ඉඳලා තියෙන්නේ අනුරලගේ කාණ්ඩේ.ඒ කලේ ඉතින් බ්ලොග් ලියන්න කොම්පියුටර් ඇවිල්ලා තිබුනයැ.කොම්පියුටර් තියා ජංගම දුකෙක්  වත් උන්ගේ කාලේ දැකලා තියෙන්න නැතුව ඇති.ඉතින් මුන්ගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකල් ගම වටේ ඇවිදින එකලු.
            ඒ කාලේ ගමේ පන්සලේ තියෙන දේවාලේ අවුරුද්දකට සැරයක් මංගල්ලේ තිබිලා තියෙනවා.(තාම   තියෙනවා)මෙතනට ගමේ ලොකු කුඩා මහත කෙට්ටු කලු සුදු සේරම එකතු වෙනවා.මේ කියන මංගල්ලේ දවසේ දේවාලේ ආවතේව වැඩ වලට පිට ගමකින් කපුවෝ දෙන්නෙක් ගේන්න තීරණය කලාලු දේවාල කමිටුවෙන් .ගමේ කොල්ලෝ ඒ කියන්නේ අනුරලා ඕකට කොච්චර විරුද්ධ උනත් වැඩිහිටි අය මුන්ගේ විරුද්ධතාවය තඹ සතේකට වත් මායිම් කලේ නැහැල්ලු.