Saturday, July 21, 2012

මිලින වූ සඳ | ආත්මගත ආදරයක පලිගැනීම (සිව්වන කොටස)

         තම මවුපියන් රියඅනතුරකින් මිය යාමෙන් පසු සෙනුරි අගනගරයේ කොන්වන්ට් එකකට බාර කෙරෙයි.එතැන් පටන් කොන්වන්ට් එකේ ජීවත් වන සෙනුරිට රැකියාව අතරතුරදී අහම්බෙන් සම්පත්ව හමු වෙයි.ආදරයකට පෙරලුණු ඒ දැනහැඳින ගැනීම සියල්ලන්ගේම ආශිර්වාදය මැද සිදුවන විවාහයෙන් අවසන් වෙයි.විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල  ප්‍රදේශයේ සම්පත් මිලදී ගෙන ඇති වලව්වට පැමිණෙයි.
        
“ බේබි මේ පැත්තට යමුයි කියලා ආවේ මේක බලන්නද?බේබි කොහොමද දන්නේ මෙතන මේ වගේ දෙයක් තියනව කියලා .මට සේදිරිස් වත් කිව්වේ නෑනේ “
“ අනේ මන්දා කමලා .මට මහ අමුත්තක් දැනෙනවා.කමලා හිතන්නේ මේ මොකක් කියලද?“
“ පේන විදිහට නම් පරන ගෙයක් වගේ හැබැයි සෑහෙන්න පරණයි වගේ .බිත්තිත් ගරා වැටිලා කැලේ හැදිලා මම හිතන්නේ අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු ගෙයක් වගේ.“
ඔවුන් සිටි තැනක් මඳක් පහලට වන්නට ඈතින් පෙනුනු ගරා වැටුන නිවස දෙස බලාගෙනම සෙනුරි කල්පනාවකට වැටී සිටියාය.
“ මේ හරියත් වලව්වටද අයිති වෙන්නේ කමලා ? “
“ ඔව් බේබි. සේදිරිස් කියපු විදිහට නම් තව ටිකක් එහාට ගියාම ලොකු පන්සලක් තියෙනවලු.පන්සල් වත්ත පටන් ගන්න තැන වලව්වේ ඉඩමේ සීමාවලු“
“  අපි දැන් යමු නේද බේබි .අහසත් කළු කරගෙන එනවා වගේ මම හිතන්නේ තව ටිහකින් වහීවි වගේ “
සෙනුරිට තවත් සුළු වෙලාවක් මෙතැනට වී එය දෙස බලා සිටින්නට ඕනෑ කර තිබුනද ඇය කමලාගේ විධානයෙන් ආපසු හැරුණාය.ඒ යන විටත් දෙතුන් වරක් ම පිටුපස බලා සිතේ ඇති වුණු බිඳුණු මතකයක සේයාව ගොඩනඟා ගන්නට ඇය වෑයම් කලාය.නැවතත් වලව් මිදුලට පිවිසෙන විට ඇගේ සිතේ තිබු චංචල ගතිය පහව ගොස් හිතට නිරවුල් බවක් දැනෙන්ට විය. මිදුලේ තිබූ රෝස  ගස් අතර ඇවිදිමින්  ඇය සිතේ ඇති තමන්ට නොතේරෙන හැඟීම කුමක්දැයි වටහා ගන්නට උත්සාහ කලාය. මුල් වරට වලව්ව දකින් විටදී හිතට දැනුණු හුරුපුරුදු ගතිය ඒ අයුරින්ම මොහොතකට කලින් පරන ගෙය දකින විටදී හිතට ඒම පිළිබඳව සෙනුරි  පුදුම වූවාය.ටික වෙලාවක් කල්පනා ලොවේ ගිලී සිටි ඇය අවසානයේ ඒ දේවල් හිතට ආ විකාර යයි සිතා සියල්ල අමතක කරන්නටත් නැවත ඒ පිළිබඳව නොසිතන්නටත් තීරණය කලාය.වැස්සක ලකුණු අත ළඟම  පනුණ නිසා සෙනුරි ඉක්මන් පියවර වලින් වලව්ව තුලට ගියාය.
                    “සම්පත් තවම නැඟිටලා නෑ වගේ“ ඇය තමන්ටම කියා ගනිමින් සෙටියේ හිඳ ගෙන රූපවාහිනිය ක්‍රියා කලාය.රූපවාහිනී තිරය මත විකාශනය වන්නේ ගීත ඉල්ලීම් වැඩසටහනකි.ඊළඟ ගීතය පැරණි ගීතයක නව සංස්කරණයක් බව වැඩසටහන කරන තරුණිය කියයි.ගීතය විකාශනය වන විට ඇයට පුදුම සිතිණි.ජෝතිපාලයන්ගේ ගීයක් නවක ගායකයෙකු යයි කියා ගන්නා පුද්ගලයෙක් ඉතා අප්‍රසන්න විදිහට ගයමින් ඊට වීඩියෝවක්ද සකසා තිබේ.අලුත් ගායකයන් ජනප්‍රිය වනන්ට මේ අයුරින් පැරණි ගීත යොදා ගැනීම කොතරම් සාධාරණ දැයි ඇය සිතන්නට වූවාය.එතනින්ම ඇයට රූපවාහිනිය නැරඹීම එපා වී එය ක්‍රියා විරහිත කර සෙටියෙන් නැඟිට්ටාය.
                වලව්ව තුල මඳක් ඇවිද බැලීමට ඇයට සිත් විණි.ඇය සාලයේ සිටම ඉහල බැලුවාය .වලව්වේ සාලය  ඉහල මාලයටද විවෘත වන ලෙස ඉහල මාලය නිමවා  ඇත.සාලයේ ඉහලින් සිවිලිමේ එල්ලා ඇති දැවැන්ත විදුලි පහන මුළු වලව්වටම අලංකාරයක් හා තේජසක් ගෙන එන බැව් ඇයට දැනිණි.සාලයේ කෙලවරක ගෘහභාණ්ඩ පිස දමමින් සිටි පියල් ඇය ව දැක මඳ සිනාවක් පෑවේය.ඔහුට සිනාවකින්ම පිලිතුරු දී සෙනුරි ලී තරප්පු පෙළ දිගේ ඉහල මාලයට ගමන් කලාය.එතැන් සිට නිදන කාමර රාශියකි.මඳක් නිදන කාමර අතර සැරි සෑරූ පසු වලව්ව සම්පත්ට හා තමන්ට විශාල වැඩිද යන්න ඇයගේ සිතට දැනිණි.එය පැරණි වලව්වක් වුවත් මේ කාලයට  සරිලන සේ පැරණි බව රකිමින් ම නවීකරණය කර ඇති බව සෙනුරිට වැටහිණි.නිදන කාමර අතරින් ගොස් කෙළවරක පිහිට කාමරයක දොරක් වෙත ඇය පිවිසුනාය.වලව්වට මුලින්ම පැමිණි කෙනෙකුට සොයා ගත නොහැකි වන තැනක එම කාමරය පිහිටා තිබේ යයි සෙනුරිට සිතිණි.තමා දැන් සිටින්නේ වලව්වේ ඉහල මාලයේ එක් අන්තයක බැව් ඇයට වැටහිණි. දොරෙහි අගුලට විශාල දම්වැලක් දමා එයටම ගැලපෙන සේ ඉබ්බෙක්ද දමා තිබිණි.එය ගබඩා කාමරයක් වන්නට ඇතැයි සිතා සෙනුරි ආපසු හැරුණාය.
                එදින රාත්‍රියේ සම්පත්ගේ මිතුරා වූ ළහිරු බිරිඳ සහ පුංචි පුතුද සමඟින් වලව්වට පැමිණියහ.ළහිරුගේ පුංචි පුතු ඉක්මනින්ම සෙනුරි සමඟ කුළුපග විය.
“ පුතාට සෙනුරිව හොඳට හිතට අල්ලා වගේ “
               ළහිරුගේ බිරිඳ ඔවුන් කතා කරමින් සිටින අතරේ සෙනුරිගේ උකුලේ සිටිනා පුතා දැක සිනහ වෙමින් කියයි.
“ අපිටත් ඔහොම වඩාගෙන හුරතල් කරන්න ලස්සන කෙලි පැටික්කියක් ඕනේ සෙනූ ඉක්මනටම “ ඇය නැවතත් කියයි.
“ සෙනුරිගෙයි මුගෙයි ලස්සන එකතු උනහම කෙල්ලෙක් උනොත් බෝනික්කෙක් වගේ හිටියි “ ළහිරු කී දෙයට  සෙනුරි මඳ සිනාවක් පෑවාය.
“ බය නැතිව ඉඳපල්ලකෝ උඹලට හුරතල් කරන්න එකෙක් නෙවෙයි දුසිමක්ම හදන්නම්කෝ “ සම්පත් කියූ කතාවට ඔවුන් පමණක් නොව අසලින් ගිය කමලා ද සිනා සුණි.රාත්‍රි ආහාරය ගෙන ඔවුන් නික්මුන පසු සෙනුරිත් සම්පතුත් නින්දට ගියේ රාත්‍රී එකලොහටත් පසුවය.ඇඟට දැනුන වෙහෙස නිසාම ඇය  ඉක්මනින්ම තද නින්දට වැටිණි.


                                     ********************************
“ සුදු මැණිකේ .......සුදු මැණිකේ................“
ඇය ඒ හඬින් ගෙතුලින් එලියට ආවාය.කඩුල්ල අසල අහිංසක බැල්මෙන් බලා සිටින තරුණයෙකි.
 “ සුදු අප්පෝ ! සුදු අප්පෝ මොකටද මෙහෙ ආවේ “
“ ඇයි මට මෙහෙ එන්න තහංචිද ? “
“ මේවා හාමුලාගේ ඉඩකඩං වෙච්චි කොට සුදු අප්පොලට අහවල් තහංචියක්ද ? “
“ නෑ කෙල්ලේ මට උඹව බලන්න එන්න හිතුනා .කෝ අම්මා ? “
“අම්මා පන්සලට හීල අරන් ගියා. සුදු අප්පෝ මෙහෙ ඉන්නවා වලව්වෙන් දැක්කොත් හෙම මටයි අම්මටයි විසුමක් වෙන් නෑ. “
“ එහෙනම් වරෙන් මා එක්ක ඇල්ල ළඟට යන්න “
                             ඇය ඔහුගේ විධානයෙන් ගෙයි දොර අඩවල් කොට ඔහු පසුපසින් පිය නැගුවාය.ඔවුන් ඇල්ල අසලට පැමින ඇල්ල පේන මානයේ විසල් ඇසල ගසක මුලක් මතින් හිඳ ගත්හ.පසෙකින් බියකරු බවක්ද පසෙකින් අලංකාරයක්ද රැගත් දිය ඇල්ල මහ හඩින්  ගැඹුරු ප්‍රපාතයට ඇද වැටෙයි.
“ උඹ මට ආදරෙයිද සුදු මැණිකේ ?“
“පනටත් වඩා මයෙ දෙයියෝ “ ඇය ඔහුගේ පපුවට තුරුළු වෙමින් කීවාය.
“ ඒ උනාට අපි දෙන්න අහසයි පොලවයි වගේ නේද අප්පෝ “
“ මම උඹව කොහොමහරි මයෙ කරගන්නවා කෙල්ලේ .එහෙම බැරි උනොත් අම්මපා මං මේ ඇල්ලෙන් පැනලා මැරෙනවා “
“ අව කැපෙන කතා කියන්නෙපා .එහෙම දෙයක් උනොත් ඊට කලින් දිවි නහගන්නේ මම“ඇය ඔහුගේ පපුවේ උණුසුමට තව තවත් ගුලි වූවාය.ඔවුන් මඳ වේලාවක් ඒ අයුරෙන්ම වැළඳ ගෙන සිටියහ.එක්වරම ඇය ඔහුගෙන් මිදී ගැස්සී නැඟිට සිටියාය.
“ හත් දෙයියනේ සුදු අප්පෝ , බංඩාර හාමු මේ පැත්තට එනවා “
“ දැන් මොකද කරන්නේ අප්පෝ ? “
“ උඹ බය නොවී ඉඳපන් අපි බලමු මොකද වෙන්නේ කියලා “
“ පර බැල්ලී තෝ අපේ ඉඳුල්ම ලොව ලොව හිතුවද වලව් පෙලපතකින් දීග යන්න “ඇගේ කම්මුල හරහා වැරෙන් පහරක් එල්ල විණි.
“ අප්පච්චි සුදු මැණිකේට ගහන්ඩ එපා ඒකි ආවේ මං කියපු හින්දා “
“ කට වහපිය .පන්සලේ පොඩි හාමුදුරුවෝ හම්බෙන්න යනව කියලා හැමදාම තෝ කොරන රාජකාරියද බොල මේ  ? “
                       ඔහුගේ කම්මුල හරහා පහරවල් කීපයක් එල්ල විණි.
“ ගුනපාල ඇදගෙන වර ඕකව “
“ සුදු අප්පෝ ...............“ ඇය බිම වැටුණු අයුරෙන්ම සිට කෑ ගැසුවාය.
                

23 comments:

  1. අද තමයි අවතාරේ කතාව කොටස් හතරම කියවලා ඉවර කලේ. හරිම ලස්සනයි. හොඳට ගැලපිලා යනවා. තව ටිකක් විස්තර තිබුනා නම් හොඳයි වගේ. ඇල්ල ළඟ වලව්ව වගේ කියලත් මතක් උනා. ඉස්සරම ආව ටෙලි නාට්යයක්.

    ReplyDelete
    Replies
    1. එල එල දිරි දුන්නට ස්තූතියි ඈ

      Delete
    2. // ඇල්ල ළඟ වලව්ව //

      නම නම් හොඳට අහල තියෙනව. ඒ කාලෙ ටීවී එකේ ගිහිපු එක කතාවක්වත් අතාරින්නෙ නැතිව බැළුව මම, දැන් ටීවී බලන්නෙ නැති වුණාට. ඔය කතාවත් බලල තියෙනව වගේ කතාව නම් මට මීටර් වෙන්නෙ නෑ. ඔය දුන්හිඳ අද්දර, දඩබිම වගේ කතා ටීවී එකේ ගිහිපු කාලෙ කතාවක් ද?

      Delete
  2. මුල ඉඳං කියවන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඇත්නම් ඔබට ඉඩ කඩ
      මෙන්න ඒකට මගෙන් ඇරයුම

      Delete
  3. අර හීන දකින්න පටන් ගන්න තැනින් කතාව ***** ටිකක්වත් දමල කැඩුව නම් හොඳයි නේද? මේ වගේ කතාවක් ඉස්සර ඉරිද ලක්බිම පත්තරෙත් එක්ක ආපු රිද්ම අතිරේකෙත් තිබුණ. මතක හැටියට නම් ‘මීදුම‘ වගේ නමක් තිබුණෙ.

    හොඳයි කතාව දිගට ගලාගෙන යනව, ඉතිරිවත් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ විදිහට කලා තැන්කූ

      Delete
  4. araliya7/22/2012

    itiri tikath ikmanata liyando.........mama balanna enawo............ :)

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දම දානවෝ

      Delete
  5. පට්ට.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පට්ටට තෑන්ක්ස්

      Delete
  6. කතාව ලෙසටම ගලාගෙන ගලාගෙන යනවා..
    එල මචං..
    ජයවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. ලෙසටම තැන්කියු මචං

      Delete
  7. Anonymous7/22/2012

    යාළු ඔන්න මාත් මවාගෙනම කියෙව්වා..මේ,ඒක නෙවෙයි..මොකද අදහස පොතක් එහෙම ලිව්වනම්??

    ReplyDelete
    Replies
    1. අදහස නම් හොඳයි . වෙලාවේ තමා පොඩි අවුලක් තියෙන්නේ

      Delete
  8. මාත් මැද්දෙන් සෙට් උනේ. ඒ නිසා කතාව කියවනකොට ටිකක් වයර් උනා.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටිකත් කියවමු එහෙනම්

      Delete
  9. අදත් ලස්සනට කතාව ලියලා. දැන් නම් ටික ටික තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා. නියමයි අවතාර්. අනිත් ටිකත් ලියමු.

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දම දානවා ඉතිරි ටික

      Delete
  10. වැඩිය කමෙන්ට් කලේ නැතුවට කියවන එනවා.. :) අවසානය බලං ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අවසන් වෙනකන් ලියනවා. හැබැයි ඉතින් මේ වගේ ඒවට කමෙන්ට් නම් අඩුයි

      Delete
  11. හපොයි කොහොම හරි මට කොටසක් මග ඇරිලනේ..අද තමයි කියෙව්වේ..කතාව නම් ලස්සනටම ගලාගෙන යනවා....

    ReplyDelete
  12. පට්ටෙට යනවා බං කතාව
    උඹ සිරාවට කතාව පෙලගස්සනවා
    මේ දැන් දුවනවා 5 කියවන්න :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න