Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා!


රතිඤ්ඤා වල පට පට සද්දෙත් එක්කම තවත් අලුත් අවුරුද්දක් උදා වුනා.සෑහෙන කාලෙකට පස්සේ අලුත් අවුරුදු නැකැත් රෑ කාලේ යෙදිල තියෙන නිසා මේ අවුරුද්දේ පොඩි වෙනසකුත් තියෙනවා වගේ දැනෙනවා.හැබැයි ඉතින් මට දැනෙන  විදිහට අපි පොඩි කාලේදි අලුත්  අවුරුද්දේ අපිට දැනුන සතුට දැන් නෑ.අපි පොඩි කාලේ ගැන මතක් කරද්දි කාලය කොයි තරම් ඉක්මනට ගෙවිලා ගිහිල්ලද කියල හිතෙනවා.ආයේ එන්නේ නැති ඒ කාලේ මතක් කරන කොටත් සතුටක් දැනෙනවා.
ඒ දවස් වල අපේ ගම් වල පවා දැනට වඩා ගැමි ගතියක් තිබුනා.ගම ඇතුලේ ඒතරම් මුදල් පස්සේ හඹා යාමක් තිබුනෙ නැති හින්දද මන්දා අවුරුද්ද කලින්ම එන්නේ ගමට.අද වෙන කොට කොහෙක් කෑ ගහන සද්දේ ඇහෙන්නේ කලාතුරකින්.මම ගමේ ආපු දවස් ටිකට මට තාම එහෙම හඩක් ඇහුනේ නෑ.එරබදු මල් පිපෙන කොහා කෑ ගහන අලුත් අවුරුද්ද තියෙන්නේ ටීවී එකේ විතරයි.මම පොඩි කාලේ අලුත් අවුරුදු කාලේදී වැඩියෙන් ආසා කරපු දේ තමා නෑදෑ ගෙවල් වල යන එක.බස් එකේ කට්ටියම  එක්ක අවුරුදු අරන් නැන්දල මාමලා බලන්න යන්නේ පුදුම ආසාවකින්.හැබැයි ඉතින් අද බස් එකක ගමනක් යනව කියන්නේ එපා වෙන සීන් එකක්.ඔය අස්සේ තවත් ආසා කරපු දෙයක් තමා අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න එක.අවුරුද්දට කලින් නගරෙට ගිහිල්ලා අලුත් ඇඳුනුයි රතිඤ්ඤයි අරගෙන එන්නේ පුදුම සතුටකින්.ඇයි ඉතින් දැන් වගේ ඒ කාලේදි අපට යහමින් ඇඳුම් තිබ්බේ නෑ නොවැ.මට මතකයි මම පොඩි දවස් වල උණ වෙඩිල්ලක් පවා හදලා පත්තු කරලා තියෙනවා.අද ඉන්න ළමයෙක්ට නම් උණ වෙඩිල්ලක් කිව්වොත් පුදුමයෙන් වගේ ඒ මොකද්ද කියලා අහනවා ෂුවර්.අද කොල්ලෙක්  උණ වෙඩිල්ලක් හදලා පත්තු කරන්න ගියොත් ඉතින් කෑම හම්බවෙනවා ෂුවර්.ඇයි ඉතින් ඕක ඔය තරම් භයානකයි කියනවනෙ.හැබැයි අපි පොඩි කාලේ අපි අම්මලා ට හොරෙන් හරි ඕවා හදල බැලුවා.අලුත් අවුරුද්දට කුස්සියට අලුතෙන් ගොම මැටි ගාගන්නවා කියලා සිරසෙන් පෙන්නුවට අද ගොම ගාපු කුස්සියක් කොහෙද තියෙන්නේ.හැබැයි ඉතින් අපි නම් ඔය ගාන ගොම ඇඟ පුරා ගාගෙන අම්මලගෙන් ගුටි කාල තියෙන  වාර අනන්තයි. අද අවුරුද්දට කලින් දවසේ කැවුමක් දෙක් හදල ගත්තට ඒ කාලේ අවුරුද්දට දවස් ගානකට කලින් කැවුම්  හැදෙන හින්දා අවුරුදු දවස් ලං වෙද්දි ගම පුරාම කැවුම් බැදෙන සුවඳ දැනුනා.
                                      හැම දෙයක්ම වාණිජකරණය වෙන ලොකේ මේ දේවල් කාටවත් නවත්වන්න බෑනේ.සමහර විට කාලයක් ගිහිල්ලා අපිත් පොඩි උන්ගේ වගකීමක් බාර ගත්තු දවසට උන්ට මේවා ටීවී එකෙන් වත් පෙන්නන්න තියෙයිද දන්නේනෑ.එහෙම වත් තිබුනොත් ලොකු දෙයක්.
                       කොහොම වෙතත් දහස් සංඛ්‍යාත පිරිසක් එකම වෙලාවකට එක දෙයක් කරන අලුත් අවුරුද්ද කියන්නේ බෞද්ධයන්ට වගේම හින්දු ජනතාවට සුවිශේෂී අවස්තාවක්.
                       මේ අලුත් අවුරුද්දත් ඔබ සැමට අතීතයේ සිදූවූ සියලු වැරදි අඩුපාඩු හදා ගෙන අලුත් බලාපොරොත්තු අලුත් ඉලක්කයන් එක්ක අලුත් වෙලා කිරියෙන් පැණියෙන් සශ්‍රීක වෙන නීරෝගීමත් අලුත් අවුරුද්දක් වේවායි නොනිමි අහසෙන් මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

1 comment:

  1. අනේ මන්දා මෙහෙම ගියොත් කොහාගේ සද්දේ ටේප් වලින් තමයි අහන්න වෙන්නේ.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න