Saturday, November 9, 2013

කුඹුර,ගොවිතැන සමඟ බැඳුනු මිහිරි අතීතය.....

                                 මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුය යන කියමන එදාට වඩා අදට මැනවින් ගැලපෙන්නේය.මන්ද අද තරුන පරපුරට වෙලකට බහින්නට කිව්වොත් ප්‍රතික්ෂේප නොකරන්නේ සීමිත පිරිසක් බැවිනි. ගම්බද පරිසරයක හැදීවැඩුනු අයෙකු ලෙසින් මා හට නම් ඇත්තේ කුඹුර,ගොයම,ගොවිතැන සමඟ බද්ධ වූ ළමා කාලයකි.කුඹුර සහ ගොවිතැන කුඩා කලදී අරුමයක් නොවන්නේ පියා ගොවිතැනේ නිරත වීමත් විශාල වෙල් යායකින් සමන්විත වුනු ගමක හැදී වැඩීමත් නිසාවෙනි.දැනට වසර ගණනකින් කුඹුරකට නොබැස්ස නමුත් ගොයම් කැපීම,පැල සිටවීම ආදී බොහෝ දේ එදා මෙන්ම අදටත් කල හැකි යැයි සිතෙන්නේ එදා ලැබූ පලපුරුද්ද නිසා යැයි වරෙක සිතේ.
           අප කුඩා කලදී වැඩිහිටියන් සැලකුවේ ගොවිතැනේ යම් තැන් ඉගෙනීම මහා භාරදූර වැඩක් අයුරිනි.මනා පුහුණුවක් නැත්තවුන් ලෙස බොහෝ තැන් වලදී බොහෝ කාර්යයන් වලදී වැඩිහිටියන්ගේ දෝෂාරෝපනයට ලක්වීම එකල සුලබ කරුණකි.කුමන වැරැද්දක් කලද කරන ක්‍රියාව නවතා තමා කුඹුරෙන් ගොඩට ඒමද කල නොහැක්කකි.ඒ නිසා දෝෂාරෝපන උපහාස මැද්දේ කේසේ හෝ ඒ ක්‍රියාවේ පලපුරුදු කාරයෙකු වීමට අපට සිදු විය.ඒ කාලයේ ඇතැම් සිද්ධි මතක් කරන විටදී මුවඟට සිනාවක් නැගෙන්නේ ආයාසයකින් තොරවය.වී ගොවිතැනේ මුලික කරුණක් ලෙස බීජ වැපිරීමේදී කුඩා අප එකල බලාසිටින්නේ උදැල්ලක් අතට ගැනීමට අවසර ලැබෙන කාලය උදාවන තුරුය.එනම් බීජ වැපිරීමට කුඹුර සකස් කිරීමේදී ඇල කැපීමට නම් මනා පලපුරුද්දක් තිබිය යුතුය.වැඩිහිටියන් ඇලවල් කපද්දී,පෝරු ගාද්දි කුඩා අපට ලැබෙන්නේ ඉන්නකි.වර්තමානයේ නොව අප කුඩා කාලයේදී කුඹුර බීජ වැපිරීමට සකස් කල පසු සකස් කල බිම මත එකදු වතුර රඳන වලක් නොතිබිය යුතුය.එමෙන්ම උඩට මතුවු පස් කඳු නොමැතිව සම මට්ටමේ බිමක් තිබිය යුතුය.කාලයෙන් කාලයට ගොවිතැන නවීකරණය වී එවන් දේ අද වන විට ශේෂ වී ඇත.නියමිත් ආකාරයට කුඹුර සකස් කල පසු එකදු තණකොල ගසක්වත් මඩෙන් මතුවී නොපෙනේ.ඒ කුඩා අපගේ ක්‍රියාකාරකමේ ප්‍රතිඵලයන්ය.මන්ද අතට ඉන්නක් හෝ කෝටුවක් ලබා දී අප වෙත පැවරෙන වගකීම නම් මඩෙන් උඩට මතුවී තිබෙන තණකොල ගස් පෑගීමයි.දවස පුරාම මේ කාර්යයේ යෙදී රාත්‍රිය වන විට නින්ද ලබන්නේ දෙපා වල මහත් වූ වේදනාවක් සමඟය.                
කුඹුරු වැඩ කිරීම අද කුලීකාරයින් ලවා කරවා ගත්තද එකල එය සිදු උනේ අත්උදව් ක්‍රමයටය.එනම් වෙල් යායේ සියලු දෙනා අදාල ගොවියාගේ කුඹුරු වැඩට සහය දේ.ඒ වෙනුවට ඔහුද අන් සියලු දෙනාගේ කුඹුරු වැඩට සහය දිය යුතු වේ.එනම් අද මෙන් කුඹුරක වැපිරීමකදී,ගොයම් කැපීමකදී දැකිය හැක්කේ පස් හය දෙනෙකුන් යුත් පිරිසක් නොව විසි දෙනෙකුට නොඅඩු පිරිසකි.උදේ දිවා දෙකටම ඇඹුල හැදෙන එදින කුඹුරේ හිමිකරුට විශේෂ දිනයකි.               
 කුඹුරු වැඩ සම්බන්ධව කුඩා කලදීම මා ලැබූ තවත් විශේෂ අත්දැකීම නම් අත් ට්‍රැක්ටරයෙන් සී සෑමට ලැබීමයි.ගමට ඇති එකම අත්ට්‍රැක්ටරයේ හිමිකරු පියාගේ වැඩිමල් සහෝදරයෙක් වූ හෙයින් අවුරුදු දහය පමණ වියේදී අත්ට්‍රැක්ටරයෙන් සීසෑම පටන් ගන්නට හැකි විය.එම අවස්ථාව ලබාගත් අයුරුද එතරම් මිහිරි නැත.මුල් කාලයේදී සිදු වුනේ කුඹුර පුරා හැතැප්ම ගණනක් ගමන් කරන අත්ට්‍රැක්ටරය පිටිපස්සෙන් ඇවිදීමය.අඩි තුන හමාරක් පමණ උසකින් සිටි මා අත් ට්‍රැක්ටරයෙන් සීසෑමෙ එදින අභ්‍යාසය නිමා වන විට හඳුනා ගත නොහැකි තරමට මඩෙන් නැවී ගොස්ය.මේ අකාරායේ ඉගැන්වීමේ දවස් කීපයකින් පසු අත්ට්‍රැක්ටරය මුල්ම වතාවට සීසෑම සඳහා ලබා දුන් මුල් දවස අද දින මෙන් මතකය.අත් ට්‍රැක්ටරයේ හැඬලය මත අත් තබාගෙන ගමන් කලේ මහත් වූ තැති ගැන්මෙන් යුතුවය.මුල්ම දින එලෙස මා අත්ට්‍රැක්ටරය සමඟ ගමන් කලේ රවුම් දෙකක් පමණි.
           මේ ආකාරයට දිනෙන් දින ගෙවි යද්දී ටික කලකින්ම අත්ට්‍රැක්ටරයෙන් සීසෑමේ සමතෙකු වීමට මා හට හැකි විය.ඉන් පසු අප ගමේ පමණක් නොව වෙනත් ගම් වලා සීසෑම් සඳහා යනවිටද අයියා මා කැඳවාගෙන යයි.එවන් දවසක අයියා මා හට අත්ට්‍රැක්ටරය ලබා දෙන තුරු මා සිටින්නේ නොඉවසීමකිනි.බොහෝ අවස්තාවන් වල මා සීසාන විටදී වෙල් යායේ වැඩ කරන බොහෝ දෙනා එකිනෙකා හා කතාකරමින් විශ්මයෙන් යුතුව මා දෙස බලා සිටියි.ඔවුන්ගේ විශ්මයට හේතු වන්නේ අත්ට්‍රැක්ටරය තරම් උස ඇති කුඩා කොලූ ගැටයකු පලපුරුදු කාරයෙකු ලෙසින් සී සෑමයි.එවන් අවස්ථාවකදී මා අත්ට්‍රැක්ටරය සමඟ ගමන් කරන්නේ තරමක උජාරුවෙනි.


       පහ වසර ශිෂයත්වය සමත් වී නගරයේ පාසලට යොමු වීමත් සමඟ කෙමෙන් කෙමෙන් කලින් තිබූ නිදහස සීමා සහිත විය.කලින් අත්ට්‍රැක්ටරය සමඟ පොරබැදුවාක් මෙන් ඉන් පසුව විබාග,ඇගයීම් සමඟ පොරබදන්නට විය.කෙසේ නමුත් මා අත්ට්‍රැක්ටරයෙන් සීසෑමට සමුදුන්නේ දකුණු කකුලේ කලවයේ කිසිදා නොමැකෙන අඟල් පහක පමණ කැළලක් ඇති කර ගනිමිනි.               අධ්‍යාපනයට වැඩි කාලයක් යොමු කිරීමත් පියාගේ ගොවිතැන් කටයුතු ඇන හිටිමත් සමඟ වැඩි කාලයක් නොගොස් කුඹුරට,ගොයමට සමුදෙන්නට මා හට සිදුවිය.වෙල්යාය ඇත්තේ නිවසේ සිට මිටර් කිහිපයක් දුරින් වුවත් අදවන විට සති කීපයකින් මා කුඹුර දෙසට ගොස් නැත.සති අන්තයේ කොළඹ සිට ගෙදර ආ පසු හදිසියේ හෝ වෙල්යායට ගියොත් දැනෙන්නේ කලින් නොදැනුණ ආගන්තුක බවකි.එහෙත් එදා සිට අක්කර සිය ගනණකින් යුතු වෙල් යායේ එහා කෙළවර සිට මෙහා කෙළවරට යන තුරු මගේ පයට නොපෑගුණු බිම් කඩක් නොමැති බව මා හට විශ්වාසය.

13 comments:

  1. රසවත් අත්දැකීමක්.
    ඇත්තටම මේ මළඉලවු අධ්‍යාපනය හින්ද දැං ළමයි කිසිම හැකියාවක් නැති ශරිර හොරු ටිකක් වෙන එක තමයි වෙන්නෙ.

    ReplyDelete
  2. අද කාලේ ඉන්න එවුන්ට කකුලේ මඩ ටිකක් ගාගන්නවත් කැමැත්තක් නැහැ අර රෝග මේ රෝග හැදෙනවා කියල මෙන්න මේ මානසිකත්වය තමයි සුද්දා අපිට දීලා ගියේ.

    ReplyDelete
  3. උඹ මොකද බන් දැන් අවාරෙට පොල් හැලෙනවා වගේ ලියන්නෙ....කලාතුරකින් තමයි දැන් පේන්න ඉන්නෙ...කාර්ය බහුලද නැත්නම් බැදලා දරු මල්ලො ලැබුනද ? ඔය කුඹුරු වැඩ මමත් පොඩි කාලෙදි කරලා තියෙනවා...පස්සෙ අපි කුඹුරු වැඩ කිරිල්ල නතර කලාට පස්සෙ තමයි නැවතුනේ...

    ReplyDelete
    Replies
    1. අනේ මචන් ඇත්තටම උඹලව දැක්කහම මාර හැපි.දැන් ටිකක් වැඩ වැඩියි .තවම කසාදයක්නම් කරගත්තේ නෑ

      Delete
  4. මෙන්න මේ වගේ ලියපන්කො බන් .... ලස්සනයි ...අසාවෙන් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. තෑක්න්ස් මචන්

      Delete
  5. මටත් පැංචා කාලෙ මතක් උනා.. වෙලේ බැහැල මඩ නාගෙන, තිත්තයො අල්ලල.... හයියෝ........

    ReplyDelete
  6. අම්ම ගහයි. යකෝ මූව කාලෙකින්නේ දැක්කේ ඈ. වට් මෙයා හැපන්.?

    ReplyDelete
    Replies
    1. තරු පෙනුනා බන් :)

      Delete
  7. මගෙත් ළමා කාලය බං......ආයෙම මතක් වෙනකොට අපි ගැන ලොකු සතුටක් එනවා. ඒත් වර්ථමාන සහ අනාගත පරපුර ගැන දුක හිතෙනවා........
    වෙලාවක් තියෙනවා නම් මෙන්න මේ පෝස්ටු දෙකත් කියවන්නකෝ.....

    මාසෙකට විදුලි බලය නැති වෙලා යනවා නම්....෴

    වැස්ස (අ)සුන්දර ද.........?

    ReplyDelete
  8. සිත්තරේත් එක්ක පෝස්ට් එකත් මරු !

    ReplyDelete
  9. නියමයි.. හැබැයි ඉතින් මාත් කුඹුරක වැඩ කරලානම් නැහැ.. ඒත් ඒ පරිසරයට මාත් ආසයි..

    ReplyDelete
  10. කුඹුරු වැඩ කරලා නටිහැ උනාට ඒවායේ බැහැල මඩ නාල ගෙදරින් ගුටි කාල නම් තියනවා. ;)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න