Saturday, April 21, 2012

අන්ධ නොවූ සෙනෙහස........(එක් සත්‍ය කතාවක්)


අවතාර් අද කොටන්න  ලක ලෑස්ති වෙන්නේ වෙනස්ම විදිහේ මාතෘකාවක් ගැන.ඇත්තටම මේක අවතාර් ගේ නිර්මල හද පතුලටම කිඳා බැහැපු නිසා තමා කොටන්න හිතුවේ.තමන්ගේ බඩින් වදපු දරුවා පළවෙනි හුස්ම ගන්නත් කලින් ඒ දරුවගේ බෙල්ල මිරිකල දාන එහෙමත් නැත්තම් ළඟ තියෙන ඇලට කාණුවට විසික්කරල දාලා යන හය හතරක් නොතේරෙන කිරි සප්පයින්ව මහ මඟ දාලා යන උදවිය ඉන්න අපේ රටේ මෙහෙම අයත් ඉන්න බව අපි මතක තියා ගන්න ඕනෙ කියලයි අවතාර් නම් කියන්නේ.මේ සිද්ධිය වෙන කාගෙන් හරි අහල දැනගත් දෙයක් වත් කොහෙ හරි තිබිලා දැකපු දෙයක් වත් නෙවෙයි අවතාර්ගේ දෑස් ඉදිරියේම සිද්ධ වුණ දෙයක්.
 දැනට මාස කීපයකට ඉහතදී අවතාර් ගමනක් යන්න ලෑස්ති වෙලා උදැහැනැක්කෙන් අවදි වෙලා එහෙම ගමන පිටත් වුනා.ප්‍රයිවට් බසයේ ආධාරයෙන් නගරයට ඇවිල්ලා එතන ඉඳලා නැවතත් බසයක ආධාරයෙන්  පැමිණිලා අවශ්‍ය කරන ඉස්තානෙනුත් බැස්සා කියමුකෝ.එතන ඉඳලා මීටර් 650 විතර දුරක් පයින් ගාටන්න තියෙනවා අදාල ඉස්තානෙට. යන්න තියෙන්නේ පොඩි ගාමන්ට් පැක්ටරි එකක් ඉස්සරහින්.එහෙම යනකොට අවතාර් දකිනවා පාරේ එහා පැත්තේ ගෙදරක ඇති දැඩි වුනාය තියලා හිතන්න පුළුවන් තරමේ බල්ලෙක් බිම තියෙන දෙයක් ඉව කරමින් ඉන්නවා.ටිකක් හුරතල් පෙනුම තියෙන බල්ලෙක්.ඒ දිහත් බල බලම ඉස්සරහට යන කොට අවතාර් දකිනවා ටිකක් ඉස්සරහින් පාරේ එහා පැත්තේම ඉස්සර ඉඳලා අන්ධ පුද්ගලයෙක් තමන්ගේ සැරයටිය දෙපැත්තට වන වන බල්ලා ඉන්න පැත්තට එනවා.අවතාර්ටත් අසරණයන්ට උදව් කිරීමේ පුරුද්ද ඇති නිසා පාර මාරු වෙන්න අවශ්‍යතාවයක් වත් තියෙනවද බලල නැති තැන ආයෙත් ඇවිදගෙන යනවා.
මෙහෙම අර මනුස්සයව පහු කර ගෙන ටික දුරක් ගියාට පස්සේ අර බල්ලා බුරමින් කෑ ගහන සද්දයක් ඇහෙනවා.එතකොට අවතාර් බැලුවේ බල්ලා බලු ප්‍රහාරයක් වත් අර මනුස්සයට එල්ල කරන්න හදනවද කියලා.බලපුවහම අර බල්ලා අන්ධ මනුස්සයාගේ ඇඟේ එල්ලි එල්ලි කෑ ගහනවා බුරනවා.දන්න කෙනෙක් වගේ.එතකොට අර පුද්ගලයා කියනවා “හා හා ඔහොම හිටපන් දගලන්නේ නැතුව .උඹ කොහේද මේ යන්න යන්නේ“ එහෙම කිය කිය බල්ලාගේ ඔලුව අතගානවා.ඊට පසසේ මෑන් සාක්කුවට අතදාලා ෆෝන් එකක් එළියට ඇදලා ගත්තා.අවතාර්ටත් දැන් යන්න ආපු ගමන අමතක වෙලා වගේ සිද්ධිය බලාගෙන ඉන්නවා.ෆෝන් එක අරගෙන නොම්මරේකුත් ඩයල් කලා.කාත් එක්ක හරි කතා කරනවා.“බයවෙන්න දෙයක් නෑ එයා මෙතන ඉන්නවා.මෙතන ගාමන්ට් එක ඉස්සරහ.මම එක්කරගෙන එන්නම්.“
 දැන් තමා අවතාර්ට සිද්ධිය මීටර් වුනේ.ගෙදරින් ආපු තමන්ගේ සුරතලාව හොයන්න තමයි මේ අන්ධ පුද්ගලයා තනියම ඇවිල්ලා තියෙන්නේ. අන්ධ කෙනෙකුට තමන් යන්න ඕනා පාර වත් හොයාගන්න බැරුව තියෙද්දි මේ මනුස්සයා තමන්ගේ බල්ලා වෙනුවෙන් තනියම ගෙදරින් එලියට බැහැලා.

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න