Tuesday, January 3, 2012

ලැබූ 2012 වසර සහ ශ්‍රී ලාංකික අප


ලොව දසත සැණකෙළි සිරි නංවමින් 2012 නව වසර උදා විය.ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද 2011 වසර ගෙවී 2012 වසර උදා වන තුරු මහත් උද්යෝගයෙන් බලා සිටියහ.මන්ද 2012 නව වසරේදී රටේ ආර්ථීක /සමාජයීය සංවර්ධනයක් ඇතිවේ යයි අප කවුරුත් විශ්වාස කරමු.
තිස් තුන් වසරක දරුණූ යුද්ධයක අඳුරු සෙවණැලි වලට තවත් එක් වසරකින් සමුදී අප නව වසර පිළිගනු ලබන්නේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයක් සඳහා ඇති අභියෝග රැසක්ද සමඟිනි.මන්ද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් විසඳා ගත යුතු ප්‍රශ්න රැසක් 2012 නව වසරට ඉතිරි කරමින් 2011 වසර අවසන් වී ඇත.
සංවර්ධිත රටක වැදගත් අංගයක් වන අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් පෙළ ප්‍රතිඵල ඉතිහාසයට විශාල කලු පැල්ලමක් එක් කරමින් අර්බුදකාරී ලෙස පසුගියදා 2011 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් විය.එමෙන්ම නව වසරේදී මුහුණ දීමට සිදුවන 2011 දී නොවිසඳුනු ගැටලු රාශීයකි.ප්ලාස්ටික් එළවළු ඇසුරුම් ප්‍රශ්නය ඉන් ප්‍රධාන වේ.කිහිප වතාවක් එකම ක්‍රමයකට නොවිසඳුනු මේ ප්‍රශ්නයට ලංකා රජය කෙසේ මුහුණ දෙයිදෝ අප නොදනී.
තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයන්ගේ වැටුප් විෂමතා , විදුලි බල මණ්ඩලයට පසු ගිය වසරේ දී සිදුවී ඇති අලාභය පිළිබඳ ගැටළුව තවමත් අලු යට ඇති ගිනි පුපුරු මෙන් යට ගොස් ඇත.නව වසරේදී ඒවා කුමන ආකාරයට දැල්වේදැයි නොදනිමු.සංවර්ධිත රටකට අත්‍යාවශ්‍ය කරුණක් වන ප්‍රබල විපක්ෂයක් අප රටේ නොමැතිවීම ඉදිරි වසරේදී ශ්‍රී ලාංකිකයින්ට මැනවින් දැනෙනු ඇත.
2012 වසර සඳහා අප කරපින්නාගෙන යන තවත් දැවැන්ත හා භයානක ප්‍රශ්නයක් නම් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයයි.රටේ පවතින මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමට පිළියමක් වශයෙන් “මතට තිත“ සංකල්පය ක්‍රියාවට නැංවුවද එයින් වැට බැන්දේ නීතියෙන් පිට අරක්කු එසේත් නැතිනම් කසිප්පු වලට පමණක් බව පහත දක්වා ඇති අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් නිකුත් කර ඇති වාර්තාවෙන් මනාව පැහැදිලි වේ.
එම වාර්තාවට අනුව අපේ රටේ දිනකට බියර් ලීටර් එක්ලක්ෂ පනස් හතර දහසක් (154,000),අරක්කු ලීටර් එක්ලක්ෂ විසි හතර දහසක් (124,000) ,ගංජා කිලෝ තුන් දහස් එකසියයක් (3,100) ,හෙරොයින් කිලෝ දෙකක් පමණ භාවිතා වේ.ඒ අනුව ඔප්පු වන්නේ ලාංකාවේ දෛනික බියර් අවශ්‍යතාවය ලීටර් 154000 ක් ද,දෛනික අරක්කු අවශ්‍යතාවය ලීටර් 124000 ක් ද වන බවයි.දිවයින පුරා ඝන කැලෑ ප්‍රදේශවල හෙක්ටයාර 500 ක පමණ දැනටමත් ගංජා වගාව සිදුවන බව මෙම වාර්තා වලින් අනාවරණය කරයි.හෙක්ටයාරයකින් අවම වශයෙන් ලබා ගත හැකි වන ගංජා ප්‍රමාණය කිලෝ 2 300 වන අතර ඒ අනුව දළ වාර්ෂික ගංජා නිෂ්පාදනයේ අවමය කිලෝ 11.5 කි.මින් 10% ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට අසුවී විනාශ වීමද වර්ෂයක් පුරා සිදු වන්නකි.
මේ අනුව 2010 වසරේදී අත් අඩංගුවට ගෙන ඇති ගංජා ප්‍රමාණය කිලෝ 114390 කි.මේ අනුව දිනකට වෙළඳපොළට එන ගංජා ප්‍රමාණය කිලෝ 3100 ක් බව හෙළි වී තිබේ.නමුත් සතුටු විය හැකි කරුණ නම් 2010 දී අත්අඩංගුවට පත් වුනු ගංජා ප්‍රමාණය 2009 හා සසඳා බලන විට 52% ක ප්‍රතිශතයකින් ඉහළ යාමයි.නමුත් ඒ හා සමඟම ගංජා නිෂ්පාදනය ද ඉහළ යන බව කාටත් නොරහසකි.දැනට ලංකාවේ හෙරොයින් භාවිතා කරන 45000 ක් දෙනාට දිනකට අවශ්‍ය හෙරොයින් ප්‍රමාණය කිලෝ 2 ක් පමණ වීම අතිශය භයානක කරුණකි.
ඒ අනුව පෙනී යන්නේ මත්ද්‍රව්‍ය දුරලීම සඳහා ක්‍රියාත්මක වූ මතට තිත සංකල්පයෙහි තිත(.) වෙනුවට කොමාවක්(,) වැටී ඇති ආකාරයයි.
සැණකෙළි උත්සව පවත්වා නව වසර පිළිගත් අපි දැන් කළ යුත්තේ ගිය වසරේදී අපෙන් මග හැරුන දේ ගැන සිතා බලා ලැබුවා වූ නව වසර අපට සහ රටට සුබ නව වසරක් කර ගැනීම යි.

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න