Thursday, January 12, 2012

පොලිස් අණෙන් බල්ලෙකුගේ අවසන් කටයුතු සිදු කලෙමු.


මේ සිද්ධිය වුනේ දැනට අවුරුදු කීපයකට කලින් නෑදෑ හිතමිතුරන් පිරිසක් එක්ක අනුරාධපුරයට අපි ගියපු වන්දනා ගමනකදි.මේ ගමනෙ අරමුණ වෙලා තිබ්බේ ශ්‍රී මහා බෝධිය ළඟදී කිරි බාරයක් ඔප්පු කරන එක.ඊට පස්සේ ඉතින් වැවකින් එහෙම නාලා උයාගෙන කාලා එහෙම එන්න තමයි කස්ටිය ප්ලෑන් කරලා තිබුනෙ.
ඔන්න නමෝ විත්තියෙන් අපි පාන්දර 4 ට විතර ගමන ආරම්භ කරලා නිකවැරටිය හරියෙන් තව යාලුවෙකුත් අරගෙන 6.30 විතර වෙද්දි අනුරාධපුරේට කිට්ටු කලා.අනුරාධපුරේ ළං වෙලා මට මතක විදිහට තලාව හරියෙන් පොලිස් මුරපොලක් හම්බ වුනා.එතකොට එළිය වැටෙන්න ඔන්න මෙන්න.ඒ කාලේ යුද්ධ කලබල හොඳටම තිබුන කාලේ.අපේ රියදුරාගෙන් ප්‍රශ්න කීපයක් අහල ආයේ වාහනේ ස්ටාට් කරල ටික දුරක් යද්දිම බල්ලො රෑනකට බයේ දුවගෙන ආපු බල්ලෙක් අපේ වෑන් එක යටට රිංගුවා.අපේ වාහනේ ඩ්‍රයිවින් සීට් එකේ හිටපු මෑන් ඒක දැක්කේ නෑ.මිනිහ වෑන් එක ඉස්සරහට ගද්දි බල්ලව අහුවුනා.අපි මෑන්ට වාහනේ නවත්වන්න කියද්දි බල්ලගේ අවසන් හුස්ම පිටවෙලා ඉවරයි.දැන් කට්ටියට මාර අප්සට්.ඇයි ඉතින් කිසිම අවුලක් නැතුව ආපු ගමනට බාධාවක් වුනාවත්ද කියලා කට්ටියම කතා කරනවා.
ඔය විදිහට වැඩ සිද්ධ වෙද්දි අර පොලිස් නිලධාරීන් අතර හිටපු ලොක්ක කියල හිතන්න පුළුවන් කෙනා ඉක්මන් ගමනින් අපි ළඟට එනව අපි දැක්කා.
“ඇස් පියාගෙනද ඕයි වාහනේ ඇද්දුවේ ? “
මෑන් අපේ ඩ්‍රයිවර්ට කඩාපැන්නේ හරියට අපි උවමනාවෙන් බල්ලව හප්පල මැරුව වගේ.
“නෑ සර් මේකා එකපාරටම ඇවිල්ලා වාහනේ යටට රිංගුවා “
“කොහොම හරි දැන් බල්ලා මැරිලනේ.යන තැන කොහෙ උනත් කමක් නෑ මූව වලළල මිසක් යන්ඩ හිතන්න එපා“
ඔය විදිහට පොලිස් ලොක්කා ගෝරනාඩු කරද්දි අපේ දෙතුන් දෙනෙක් වාහනෙන් බැහැලා.හිටපු පොලිස් නිළධාරීන් දෙතුන් දෙනෙකුත් එතනට ආවා.
“ මාර වැඩේ මේකව වලළ වලළ හිටියොත් නම් අපිට වෙලාවට යාගන්න බැරි වෙනවා.“
අපේ කෙනෙක් කිව්වා.අපේ අවාසනාවට ඕක අර පොලිස් ලොක්කට ශ්‍රවණය වුනා.
“ එතකොට තමුසෙල මරල දාලා යන බල්ලොත් වලළලන්න ඕනෙ අපිද?බල්ලව වලළලා මිසක් වාහනේ හොල්ලන්ඩ හිතන්ඩ එපා “
මෑන්ට නිකන් යකෙක් ආරූඩ වෙලා වගේ.ඔය අතරෙදි අපේ කෙනෙක්ට මළ පැනලා.
“සර් අපි බල්ලව හිතල හැප්පුවෙ නෑ.අපි යන්නේ ශ්‍රී මහා බෝධිය ළඟ කිරි බාරයක් ඔප්පු කරන්න.ඒකට වෙලාවට යන්ඩ ඔනේ හින්දයි එහෙම කිව්වේ.අනික සර් හරියට කතා කරන්නේ අපි මනුස්සයෙක්ව හැප්පුව වගේනෙ “
“තමුසෙල මිනිහෙක්ව හප්පල දාලා යන්නෙත් ඔහොම තමයි ඕයි“
දැන් අපේ කට්ටියට හොඳටම තද වෙලා.අර පොලිස් ලොක්කට ඇහෙන් නැකිවෙන්න වාහනේ ඇතුලේ ඉඳන් මිනිහගේ ගුණ වර්ණනා කරනවා.ඇයි ඉතින් මෑන් නිදිමරපු පළිය අපෙන් ගන්න හදනවා වගේ නේ .මේ අස්සේ එතන හිටපු කෙනෙක් නියම කතාවක් කියනව පොලිස් ලොක්කගේ ඉහ මොල රත්වෙන්න.
“මුන්ගෙ මහ එවුන්ට කෙළලා යනව දන්නේවත් නෑ බල්ලෙක් හැපුනම තමා බලන්න ඕනේ රාජකාරියෙ තරම “
මේක කිව්වේ ලොක්කට ඇහෙන නෑහෙන ගානට වුනත් මෑන්ට ඒක හොඳට ඇහුනා.ඔන්න එතකොට තමා මිනිහගේ සැර බාල වුනේ.
“මොනාද අයිසේ කුටු කුටු ගාන්නේ? මේකව මෙතන කුණු වුනහම ඒකේ රඟේ අපිනේ දන්නේ “
එහෙම කියල මෑන් එතනින් එහාට වුනා.පස්සේ ටිකක් තරුණ පෙනුමක් තියෙන පොලිස් නිළධාරියෙක් අපිට කිට්ටු කළා.
“ගනන් ගන්න එපා අයියේ සර්ට පොඩ්ඩක් තරහ ගිහිල්ලා.ඔයාලට වෙලා යනවනම් දෙන්නෙක් ව දාලා යන්න මේ වැඩේට.අපි අපේ වාහනේකින් අනුරාධපුරේට ගෙනල්ල දාන්නම්. “
ඒ කියපු වචන ටික ඇහුව අපිට තවත් තර්ක කරන්න ඕනේ වුනේ නෑ.ළඟ ගෙදරකින් උදැල්ලක් ඉල්ල ගත්තු අපි බල්ලගේ අවසන් කටයුතු සිදු කරා.ඒ කරලා එන ටිකටත් ආවේ අර පොලිස් ලොක්කගෙ මවු දෙමවුපියො මතක් කර කර.
ප.ලි :ඔය බල්ලගේ අවසන් කටයුතු කරා කිව්වට ගිහිල්ල වළක් කපන්න උදැල්ල ගහල බැලින්නම් පොලොවෙ වැදිලා උදැල්ල අඩි 2ක් විතර උඩට විසික් වෙනවා.ඒ හොඳට පායන කාලේ.පස්සේ බල්ලව අගලකට දාලා වැහෙන්න රොඩු ටිකක් දාලයි අවසන් කටයුතු කලේ.ඒක හින්දා දවස් ගාණක් යනකන් එතන රාජකාරි කරපු අය අපිව නිතරම මතක් කරන්න ඇති.හැබැයි අපේ හොඳ කියන්න නම් එහෙම නෙමේ.

2 comments:

  1. හප්පේ ඔය පැත්තේ වලක් කපනවා කියන්නේ හෙන කට්ටක්..පොලව යකඩ වගේ නේ....කට්ටියවම මතක් කරන්න ඇති බලුකුනු ගඳ එනකොට...

    ReplyDelete
  2. සතෙක්ගේ උනත් ප්‍රාණයක් නැති උනොත්, ඔයිට වඩා සංවේදී වෙන්න, වෙන මුකුත් නිසා නෙවෙයි, අපි මිනිස්සු නිසා!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න