Saturday, December 24, 2011

නත්තල commercial වන අරුමය


මුලින්ම ලෝක වාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නත්තලක් සහ සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සාමයේ කුමාරයාණන් ලොවට පහල වුනු ඒ අසිරිමත් මොහොත උදාවීමට තව ඇත්තේ හෝරා කිහිපයයි.මේ මොහොත වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කිතුනු බැතිමතුන් ක්‍රිස්තියානු ආගමික මධ්‍යස්ථාන වල සිට ඒ අසිරිමත් මොහොත උදාවන තුරු බලා සිටී.
බෞද්දයකු වුවත් මා හටද රට පුරා බොහෝ දෙනකුට මෙන් නත්තල් අසිරිය විඳගන්නට අවස්ථාව ලැබී තිබේ.මන්ද මා ජීවත් වන ප්‍රදේශයේත් කිතුනු බැතිමතුන් විශාල ප්‍රමානයක් වාසය කරන බැවිනි.සුප්‍රසිද්ධ කට්ටිමහන ශාන්ත ආනා සිද්ධස්ථාය පිහිටා ඇත්තේ මගේ ගමට ඉතාමත් ආසන්නයේයි.උපන් ගමේදී මෙන්ම මා නිතර සැරිසරන වෙන්නප්පුව මාරවිල මීගමුව කටුනේරිය ආදී නගරවලදී නත්තල් අසිරිය මනාව විඳගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.
නත්තල මේ අයුරින් අසිරිමත් වෙද්දී කනගාටුවට කරුණ නම් නත්තල වාණිජකරනය වීමයි.අතීතයේ මෙන් නොව වර්තමානයේ නත්තල හොඳ වෙලඳ නාමයක් බවට පත්ව ඇත.නත්තල් අසිරිය කිතුනු බැතිමතුන්ගේ නිවසට පැමිණෙන්නේ දෙසැම්බර් මාසයේ මැද දිනවලදී වුවත් රූපවාහිණියෙන් නම් නත්තල ගෙදරට පැමිණෙන්නේ නොවැම්බර් මාසයේ මුල් කාලයේ දී ය.ඒ එක් එක් සමාගම් සහ වෙලඳ ආයතන වල වෙළඳ ප්‍රචාරක දැන්වීම් වලිනි.මීළඟට නත්තල කල එලි කරන්නේ වෙළඳ සැල් මඟිනි.කිතුනු බෞද්ධ බේදයක් නොමැතිව මේ වෙළඳ සැල් අලංකාර වන්නේ තම තමන්ගේ වෙළඳාම යහමින් කර ගැනීමට පාරිභෝගිකයා තම වෙළඳ සල ආකර්ශනය කරවා ගැනීමට යි.
සීතල උඳුවප් මාසය උදාවත්ම තම තමන්ගේ මඩි තර ගන්නා පිරිසක්ද සිටී.ඒ නොයෙක් අලංකාර ලෙස නම් වලින් නම් කරන ලද සැනකෙළි පවත්වන පිරිස්ය.ඔවුන්ට අනුව නත්තල් යනු සැණකෙළි හා සංගීත සංදර්ශනයි.මා ඉහත සඳහන් කල නගරවල පමණක් මා දන්නා තරමින් මුළු උඳුවප් මාසය පුරාම සංගීත සංදර්ශන හා සැණකෙළි පැවැත්වේ.තරුණ තරුණියන්ගෙන් මෙන්ම වැඩිහිටි පිරිස් වලින් පවුල් පිටින් මේ සැණකෙළි භූමි වලින් පිරී ඉතිරී යන්නේ වසරක් පුරා ඇති විඩාව මොහොතකට අමතක කර ගැනීමට මෙනි.නමුත් ඔවුන්ටත් නොදැනීම ඔවුන් ගේ මුදල් පසුම්බි හිස් වන්නේ ලක්ෂ ගණනින් මුදල් සැණකෙළි සංවිධානය කරන්නවුන්ට ලබා දෙමිනි.
මේ අයුරින් නත්තල මෙන්ම කිතුනු බැතිමතුන් අතර පූජනීය චරිතයක් වන නත්තල් සීයා ද වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබීම තවත් ශෝකජනකය.

මේ කාලයේදී නත්තල් සීයා දසත දිස්වන පුද්ගලයෙක් බවට පත්ව ඇතත් බොහෝ දෙනෙක් නත්තල් සීයාගේ මූලාරම්භය ගැන කරුණු නොදනී.පුරාවෘත්තයකට අනුව නත්තල් සීයා යනු බෙල්ජියමේ ලියුම් බෙදන තැපැල්කරුවෙකි.ඔහු නත්තල් සමයේ හිම වැටුණු සීතල ප්‍රදේශයේ ලියුම් බෙදන විට අසරණ ළමුන් හට ලියුම් සමඟ තමාගේ වියදමින් තෑගි බෝග ගෙන ගොස් දී ඇත.පසුව ඔහු ශාන්ත නිකලස් නමින් ප්‍රසිද්ධ වී ඇත.මේ ආකාරයට පැවත එන නත්තල් සියාට වර්තමානය වන ලැබී ඇති තැන දුක්මුසුය.ඔහු සුපිරි වෙළඳ සැල් ඉදිරිපිට පැමිණෙන පාරිභෝගිකයන් සනසන පුද්ගලයෙක් බවට පත්ව ඇත.විටෙක පැමිණෙන්නන්ගේ දරුවන් සුරතල් කරමින් වරෙක ඔවුන් ඉදිරියේ නටමින් තමන්ට වෙළඳසලෙන් පොරොන්දු වූ මුදලට තමන්ගේ රාජකාරිය ඉටු කරයි.
සමහර අවස්ථා වලදී හොර තක්කඩින් විසින් බොහොමයක් අපරාධ වලට මේ නත්තල් සීයාගේ ඇඳුම උපකාර කරගෙන ඇත.නත්තල් සමයේ නන් අයුරින් බිහි වන මේ නත්තල් සීයලාට වරෙක තම රාජකාරිය කරන අතරතුරේදී පදම වැඩිවී පාරිභෝගිකයන්ගෙන් ගුටි සංග්‍රහ ලැබූ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබේ.
මේ අයුරින් නත්තල පමණක් නොව වෙසක් පොසොන් යන ආගමික උත්සව ද වාණිජකරණය කර ඇති මෙවන් යුගයක තව මිනිත්තු කිහිපයකින් උදා වන ඒ අසිරිමත් මොහොතෙන් ඔබ සියළු දෙනාටම සාමයෙන් සතුටෙන් සපිරුණු සුභම සුභ නත්තලක් උදා වේවායි මා නැවතත් ප්‍රාර්ථනා කරමි.

1 comment:

  1. සුභ නත්තලක් වෙවා !!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න